යුගදනවි ඇමරිකානු ආයෝජනයට එරෙහි වන්නේ විදුලි මාෆියාවයි….!

September 25, 2021 at 9:56 am | by emanisa.lk

කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ කොටස් ඇමරිකානු සමාගමකට ලබාදීමේ ගනුදෙනුව ශ්‍රී ලංකාවට ඉතා ම වාසිදායක බවත් ඊට එරෙහි වී සිටින්නේ මෙරට විදුලි මාෆියාව බවත් ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය මහින්ද පතිරණ පවසයි.

ඔහු ඒ සම්බන්ධයෙන් සිය ෆේස්බුක් පිටුව ඔස්සේ පළ කළ අදහස් පහතින් දැක්වේ.

කෙරවලපිටිය ගැන තවදුරටත්.

ඇතැමුන් ප්‍රශ්න කර තිබුණේ ටෙන්ඩර් කැඳවා තිබූ අවස්ථාවක ටෙන්ඩර් නොමැතිව ඇමරිකානු සමාගමට ගෑස් බලාගාර ආයෝජනය ලබා දුන්නේ ඇයි ද යන්නයි. ඇත්ත වශයෙන්ම ඇමරිකානු සමාගමට මෙය ලබා දීමට පෙර කැඳවා තිබූ ටෙන්ඩර් විවෘත කරනු ලැබීය. මේ සඳහා ලැබී තිබුණේ ටෙන්ඩර් දෙකක් වන අතර පසුව එක් ටෙන්ඩර්යක් ඉවත් කරගෙන තිබුණි. කෙසේ වෙතත් ඉතිරි ටෙන්ඩරයද රජයට පිළිගත හැකි තත්වයක තිබුණේ නැත. විශේෂයෙන්ම ඉදිරිපත් කර තිබූ මිළ ගණං ඉතා අධික විය. ඔවුන් ඉදිරිපත් කළ මිළ වූයේ ඒකකයකට ඩොලර් 3.15කි. එහෙත් ඇමරිකානු සමාගමේ මිළ ඩොලර් 1.40කි. ඒ අනුව රටට වන ලාභය සිතාගත හැකිය.

මේ අතර, මේ වන විට ලංකාවේ විදුලි මාෆියාව කැළඹ ඇති බව පෙනී යයි. ඊට හේතුවක් තිබේ. LNG බලාගාරයෙන් නිපදවෙන විදුලිය තාප විදුලියට වඩා අඩකින් පමණ ලාභය. කෙරවලපිටියෙන් දැන් ආණ්ඩුව රුපියල් 19කට ඒකකයක් ගනු ලැබේ. එහෙත් නව බලාගාරය ද සමග මිළ අඩකින් පමණ කපා හැරෙනු ඇත. එහි වාසිය මෙරට පාරිභෝගිකයාටය. මෙහි අතුරු ඵලයක් ලෙස ආණ්ඩුවට වෙනත් පෞද්ගලික විදුලි සැපයුම්කරුවන් සමග කේවල් කිරීමේ හැකියාව ලැබේ. ඒ අනුව, ඔවුන්ද රජයට විදුලිය සපයන මිළ පහත දැමිය යුතුය. එසේ නොකරන්නේ නම් ඒවා මිළට නොගෙන සිටිය හැකිය. මාෆියාවට වැඩිපුර රිදී ඇත්තේ මේ නිසාය.

මෙම ආයෝජනයට එරෙහි වන්නන් තීරණය කළ යුත්තේ තමන් විදුලි මාෆියාව වෙනුවෙන් පෙනී සිටිනවා ද ජනතාව වෙනුවෙන් පෙනී සිටිනවාද යන්නයි.

– මහින්ද පතිරණ

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස