යහපාලන ආණ්ඩුවට රට ඉදිරියට ගෙන යෑමට බාධා කිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට සිවුවැදෑරුම් චෝදනා පත්‍රයක් මාධ්‍ය ඔස්සේ ඉදිරිපත් කරන බව එජාප මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර පවසයි.
ශ්‍රී ලංකේය පාසල් අධ්‍යාපනයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම වෙනුවෙන් දරු දැරියන්ට ටැබ් පරිගණක ලබා දෙන්නට උත්සාහ කරන විට එය නතර කිරීම, ගුරු වැටුප් ප්රශ්නය විසඳීම සඳහා කැබිනට් පත්‍රිකාවක් ද ඉදිරිපත් කර තිබියදී දින 52 කුමන්ත්‍රණය නිර්මාණය කොට එම ප්රශ්නය විසඳීම කඩාකප්පල් කිරීම, පාස්කු ප්‍රහාරය අවස්ථාවේදී ආරක්ෂාව පිළිබඳ වගකීම කිසිවකුටත් පවරන්නේ නැතිව විදේශගත වී සිටීම, මරඳගහමුල සහල් වෙළෙඳපොළ බිඳ වට්ටවා පොළොන්නරුවේ සහල් ඒකාධිකාරියක් නිර්මාණය කිරීම යන්න ප්‍රධාන චෝදනා හිටපු ජනාධිපතිවරයාට එල්ල කරන බව එජාප මහ ලේකම්වරයා සඳහන් කළේය.
මෙම කරුණු සම්බන්ධයෙන් ඕනෑම ප්‍රසිද්ධ මාධ්‍යයක මුහුණට මුහුණ සංවාදයකට තමා සූදානම් බව ද එජාප මහ ලේකම්වරයා සඳහන් කළේය.
මෙම සිව් වැදෑරුම් චෝදනා මාලාවේ අඩංගු කර ඇත්තේ යහපාලන ආණ්ඩුවට කළ දහසකුත් එකක් බාධා කිරීම්වලින් අතලොස්සක් පමණක් බව ද එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර වැඩි දුරටත් කීය.