චන්ද්‍රිකා බණ්ඩාරනායක විසින් පැවරූ නඩුවෙන් මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව වාරණ නියෝගයක් ලබාගෙන තිබියදී එම නඩුවේම තුන්වැනි වග උත්තරකරු වන නිමල් සිරිපාල ද සිල්වා පක්ෂයේ වැඩබලන සභාපතිවරයා වශයෙන් පත්කරගන්නේ කෙසේදැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහ ලේකම් දයාසිරි ජයසේකර ප්‍රශ්න කරයි.
“කොළඹ දිසා අධිකරණයේ නඩුවක් පවරලා තියෙනවා, චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය තමයි ඒක පවරලා තියෙන්නෙ. මේ නඩුවේ තුන්වෙනි වග උත්තරකරු ඉන්නෙ නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා. හතරවැනි වග උත්තරකරු ජනාධිපති නීතීඥ ෆයිසර් මුස්තාෆා. මේ දෙන්නාම ජ්‍යේෂ්ඨ උපසභාපතිවරු විදියට තමයි වැඩ කරන්නෙ. ඒ වග උත්තරකරුවෙක් වෙන නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමාව දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති කරලා.
මොකක්ද එතකොට මේකෙ වැදගත්කම ? ඔහුටත් විරුද්ධවනෙ මේ තහනම අරගෙන තියෙන්නෙ එහෙනම්? මෛත්‍රීපාල සිරිසේන මහත්තයාට විතරක් නෙවෙයි. මෛත්‍රීපාල සිරිසේන මහත්තයාට පක්ෂයේ සභාපති විදියට වැඩකරන්න බැරි නම් නිමල් සිරිපාල මහත්තයා කොහොමද පක්ෂයේ වැඩබලන සභාපති වෙන්නෙ ?
මේ කරන්න යන්නෙ 18 වෙනිදා වෙනකොට නිමල් සිරිපාල මහත්තයායි ෆයිසර් මුස්තාෆා මහත්තයායි මේ චොදනා පත්‍රය පිළිගන්න තැනට ඇෆිඩෙවිට් එකක් දීලා වැඩේ පටන් ගන්න යන්නෙ. එතකොට මේ දෙන්නාව දාන්නෙ ඇයි ? ඉදිරි කුමන්ත්‍රණකාරී ක්‍රියාවලියකට සම්බන්ධ කරගැනීම සඳහා. එක පැත්තකි චන්ද්‍රිකා මැතිණියත් එක්ක කුමන්ත්‍රණකාරී විදියට සම්බන්ධ වෙනවා නිමල් සිරිපාල මැතිතුමා, ෆයිසර් මුස්තාෆා මැතිතුමා, මහින්ද අමරවීර මැතිතුමා, ලසන්ත අලගියවන්න මැතිතුමා සහ දුමින්ද දිසානායක මැතිතුමා. මේ සියලු දෙනාම මේ කුමන්ත්‍රණ ක්‍රියාවලියේ නායකයො බවට පත්වෙලා තියෙනවා.”
දයාසිරි ජයසේකර මහතා මේ බව පැවසුවේ ඊයේ (11) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.