මුතුරාජවෙල තෙත් බිම පරිසර සංවේදී කලාපයක් ලෙස නම් කර “රැම්සා” තෙත් බිමක් ලෙස සංවර්ධනය කිරීමට අදාළව ජනාධිපතිවරයා ඉකුත් ඔක්තෝබර් 07 නිකුත් කළ ගැසට් නිවේදනය බලරහිත කරන්නැයි ඉල්ලා සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන, සහ එම ප්‍රදේශයේ පදිංචි ධීවරයකු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඊයේ (05) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කළහ.
එසේම අදාළ ගැසට් නිවේදනය අනුව කටයුතු කිරීම සහ ඉදිරි පියවර ගැනීමෙන් වගඋත්තරකරුවන් හෝ ඔවුන්ගේ නියෝජිතයන් වළක්වන අතුරු නියෝගයක් කරන්නැයි ද පෙත්සම්කරුවෝ සිය පෙත්සමින් ඉල්ලා සිටිති.
මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නාගරික සංවර්ධන සහ නිවාස ඇමැති අගමැති මහින්ද රාජපක්ෂ, රාජ්‍ය ඇමැති නාලක ගොඩහේවා, එම අමාත්‍යාංශ ලේකම් වරයා, වනජීවී අධ්යක්ෂ ජෙනරාල් චන්දන සූරියබණ්ඩාර, වත්තල, මීගමුව, ජා ඇල ප්‍රාදේශීය ලේකම්වරු, නීතිපති වරයැ ඇතුළු 14දෙනෙකු නම් කරනු ලැබ සිටිති.
මුතුරාජවෙල තෙත්බිම හෙක්ටයාර 1926කින් සමන්විත භූමි ප්රමාණයකි.මුතුරාජවෙල මීගමුව කලපුව ආශ්රිත ප්‍රදේශයේ පුද්ගලයන් ලක්ෂ තුනක් පමණ ජීවත් වන අතර එයින් පන්දහසක පමණ පිරිසක් එම තෙත් බිම ආශ්රිත ව ධීවර, වගා, ආදී කටයුතු වල නිරතව සිටිති.
එසේම කතෝලික දේවස්ථාන කිහිපයක් ම මෙම ප්‍රදේශයේ පිහිටා ඇත.මෙම ප්‍රදේශය රැම්සා තෙත් බිමක් ලෙස සංවර්ධනය කිරීමට අදාළ ව ජනාධිපතිවරයා විසින් ඉකුත් ඔක්තෝබර් මස 07දින 2248/44 දරණ ගැසට් නිවේදනයක් නිකුත් කළේය
එම ප්‍රදේශය රැම්සා තෙත් බිමක් ලෙස සංවර්ධනය කිරීම නිසා එහි පදිංචි කරුවන්ට සිය ජීවනෝපාය මාර්ග මෙන්ම නිවාස සහ ආගමික සිද්ධස්ථාන අහිමි වීමකි.
එම සංවර්ධන කටයුතු නාගරික සංවර්ධන අධිකාරිය ට පැවරීමක් එමගින් සිදු කර තිබේ. රැම්සා තෙත් බිම් සංවර්ධනය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ කටයුත්තක් වන අතර එය නාගරික සංවර්ධන අධිකාරියට පැවරීම නීතිවිරෝධී වේ.
රැම්සා තෙත් බිමකට කිසිවකුට ඇතුළු විය නොහැකි නිසා එම ප්‍රදේශය පදිංචිකරුවන්ට එම ප්‍රදේශයෙන් ඉවත් වීමට සිදු විය හැකි වේ. එබැවින් එම ගැසට් නිවේදනය නීතිවිරෝධී වේ.
මෙම සිද්ධිය නිසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1),14(1)g, 14(1)hයන විධිවිධාන මගින් සහතික කර ඇති තමන්ගේ මෙන්ම මෙරට ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බව ට ප්‍රකාශයක් කරන ලෙසත්, එසේම අදාළ ගැසට් නිවේදනය අනුව කටයුතු කිරීම සහ ඉදිරි පියවර ගැනීමෙන් වගඋත්තරකරුවන් හෝ ඔවුන්ගේ නියෝජිතයන් වළක්වන අතුරු නියෝගයක් කරන ලෙස පෙත්සම්කරුවෝ අධිකරණයෙන් ඉල්ලා සිටිති.
සුදුසු වන්දි මුදලක් තමන් ට ලබා දෙන ලෙස ද ඔවුහු සිය පෙත්සම මගින් අධිකරණයෙන් ඉල්ලා සිටිති.