පණු කරඳ කියන්නේ ගම්වල දරට ගන්න ගහක්…! එය වඳවී යාමේ තර්ජනයක් අද නෑ….! – ජාතික උද්භිද උද්‍යාන අධ්‍යක්ෂ ජනරාල්

February 11, 2021 at 10:43 pm | by emanisa.lk

ගම්පහ හෙනරත්ගොඩ ඇතුළු දිවයිනේ ස්ථාන කිහිපයකම කෲඩියා සිලනිකා ශාඛය සංරක්ෂණය කර ඇතැයි ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුව පවසයි. එම ශාඛය රනිල කුලයේ ශාඛයක් වන අතර නයිට්‍රජන් එකතු කිරීමේ ඇති හැකියාව හැරුණු විට විශේෂත්වයක් නැතැයි ද ගම්වල එය භාවිත කර ඇත්තේ දරට පමණක් යැයි ද එහි අධ්‍යක්ෂ ජනරාල් එස්. ඩී. ක්‍රිෂ්ණරාජා පැවැසුවාය.

සාමාන්‍යයෙන් මෙම ශාඛය ගම්පහ දිස්ත්‍රික්කයේ තවත් ස්ථාන රාශියකින්ම සොයාගෙන ඇති බවත් පහත් බිම්වල එය වැවෙන බවත් කී ඇය ගම්පහ උද්භිද උද්‍යානයේ වැඩුණු ගස් තුනක් ඇතැයි ද කීවාය. එහි ඇට එකතුකර ඇට පැළ කර ඇතැයි ද පේරාදෙණිය හා ගම්පහ උද්භිද උද්‍යානවල එම පැළ රාශියක් ඇතැයි ද ඇය කීවාය.

මෙය ඒක දේශිය ශාඛයක් බව සැබෑ නමුත් එය වඳවීමේ තර්ජනයක් දැන් නැතැයි ද අධ්‍යක්ෂ ජනරාල්වරිය පැවැසුවාය.

මෙම ශාඛය ගලවා ගුවනින් ගෙන ගොස් මුතුරාජවෙල සිටුවීමට වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අවසර ඉල්ලා සිටි මැල්වත්ත සහ සමාගමේ සභාපති අජිත් පණ්ඩිතරත්නගෙන් ඒ පිළිබඳව විමසූ අවස්ථාවේ ඔහු කියා සිටියේ දැන් එය සඟසතු කර ඇති බැවින් එම අදහස අත්හළ බවය. කිසිසේත්ම එය සංරක්ෂණය කිරීමට තම සමාගම දැන් ඉදිරිපත් නොවන බව ද හෙතෙම කියා සිටියේය.

පරිසර යුක්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ හේමන්ත විතානගේ කියා සිටියේ එම ගස පෞද්ගලික සමාගමකට රෝපණය සඳහා රජය අවසර දුනහොත් තමන් නඩු මගට බසින්නට සූදානම් බවය. වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනත අනුව කිසිදු තැනැත්තෙකුට ආරක්ෂිත පැලෑටියක් ඉවත් කිරීම, ඉදිරීම, හෝ විනාශ කිරීමට අවසර නැති බවත් එය දඬුවම් ලැබිය හැකි වරදක් බවත් හෙතෙම පෙන්වා දුන්නේය.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *