මැතිවරණ වියදම් පනත සම්මතයි..! පුංචි ඡන්දෙත් නව පනත යටතේ…!

January 19, 2023 at 8:02 pm | by emanisa.lk

ඡන්ද අපේක්ෂකයන්ගේ මැතිවරණ වියදම් සීමා කිරීම සඳහා විධිවිධාන ඇතුළත් මැතිවරණ වියදම් නියාමන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 61 කින් සංශෝධන සහිතව සම්මත විය.

පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 97ක් ලැබුණු අතර ඊට විරුද්ධව ලැබුණේ ඡන්ද 36 ක් පමණි.

සමගි ජන බලවේගය ජාතික ජන බලවේගය ඇතුළු දේශපාලන පක්ෂ රැසක මන්ත්‍රීවරු පනතට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළහ.

අධිකරණ බන්ධනාගාර කටයුතු සහ සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ විසින් පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදය සඳහා ඉදිරිපත් කරනු ලැබීය.

පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ඊයේ දවස පුරා පැවැත්විණ. විවාදයේදී ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරු විස්සකට වැඩි පිරිසක් අදහස් දැක්වූහ.

මෙම පනත් කෙටුම්පත ඡන්දයක් ප්‍රකාශ කර ඇති අවස්ථාවක විවාදයට ගැනීම සම්බන්ධයෙන් විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක නායකයෝ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී සිය විරෝධය පළ කළහ.

පනත් කෙටුම්පත විවාදයට ගන්නේ නම් ඉදිරියේ එන පළාත් පාලන මැතිවරණයට පනත බල නොපාන බවට වගන්තියක් ඊට ඇතුළත් කරන්නැයි විපක්ෂයේ නායකයන් ඉල්ලා සිටි නමුත් ඊට ආණ්ඩුව පාර්ශ්වයෙන් එකඟත්වයක් ලැබුණේ නැත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *