සමගි ජන බලවේග ආණ්ඩුවක් යටතේ MCC ගිවිසුම ජනතාව ඉදිරියේ ඉරා විසිකරන බව එම පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස පෙරේදා (29) උතුරු කොළඹ පැවැති ජනහමු අමතමින් පැවසීය.
එහිදී සජිත් ප්‍රේමදාස මෙසේද කීය.
‘මේ ආණ්ඩුව ප්‍රෝඩාව රජකරවන ආණ්ඩුවක්. මැතිවරණයට කලින් මහා බිල්ලෙක් ලෙස පෙන්වූ එම්.සී.සී ගිවිසුම දැන් හොඳ වෙලා. ජනාධිපතිවරණය වෙලාවේ කිව්වෙ මේ ගිවිසුම කෑලිවලට ඉරලා විසි කරනවා කියලයි. නමුත් අද ගිවිසුම ගැන කරුණාවක් පහළවෙලා .
අපිට මතකයි ඒ දවස් වල හැට නව ලක්ෂයක් ඡන්දෙ දුන්නෙ එම්.සී.සී. ගිවිසුමට විරුද්ධව. මැතිවරණය දවස්වල කිව්වා එම්.සී.සී. ආවොත් කොරිඩෝවක් හැදෙනවා කියලා. එහෙම කියලා ඡන්දය අරගෙන ජනාධිපතිවරණයෙන් දිනුවා. දැන් මාස හතක් වෙනවා. එදා යක්ෂයා වෙච්චි එම්.සී.සී. ගිවිසුම නැවත සලකා බලන්නත් කමිටු හදලා. මොකක්ද මේ විහිළුව. ජනතාවගේ බුද්ධිය එක්ක කරන සෙල්ලම මොකක්ද?. ඉරලා විසි කරනවා කිව්ව ගිවිසුමක් සලකා බලන්න යන එකේ තේරුම මොකක්ද?
ඒ දවස්වල අපේ ආණ්ඩුවට කිව්වේ සුද්දෝ ළඟ දණ ගහනවා කියලා. දැන් බලන්න, කොරෝනා ව්‍යසනයෙන් අසරණ වෙච්ච ජනතාවට මුදල් බෙදපු හැටි. ලෝකයේ හැම රටක්ම තමන්ගෙ ජනතාව වෙනුවෙන් සහන ලබාදෙනවා. නමුත් අපේ රටේ ආණ්ඩුව පවුලකට ලබා දෙන වටිනාකම රුපියල් 5000යි. අපි කියනවා ඒක දුන්නෙත් අපි කරපු සටන නිසා.
ආණ්ඩුව හැම වැඩක්ම අසමත්. සහල් මාෆියාව ඉදිරියේ දණ ගැහුවා. ලීසිං පහසුකම් ඉල්ලලා සටන් කරපු සුනිල්ව ඝාතනය කරනකම් බලාගෙන හිටියා. කෝටි ප්‍රකෝටි ගණන් වියදම් කරලා හිස් ව්‍යාපෘති කෙරුවා. එක දවසෙන් මිලියන ගණනක් මුහුදට ගහගෙන ගියා. ව්‍යසනයන් මැද ක්‍රීඩාංගණ හදන්න ව්‍යාපෘති ගෙනාවා. සීනි සැමන් අඩුවට දෙනවා කියලා බදු පිට බදු ගැහුවා. ඉතින් මේක වැඩ කරන ආණ්ඩුවක් ද?
ඒ නිසා මේ වැඩ බැරි අසාර්ථක ආණ්ඩුව ගෙදර යවමු. අපි හදන ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ට සැප ගන්න බෑ. ජනතාව වෙනුවෙන් දෙන සියලු පොරොන්දු ඉටු කරන්න කැපවෙන ආණ්ඩුවක් තමයි අපි නිර්මාණය කරන්නේ.’
කෙසේ වුවද සජිත් ප්‍රේමදාසගේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්රකාශනයෙහි කොළඹ සිට තිරිකුණාමලය දක්වා ආර්ථික කොරිඩෝවක් තැනීම හෙවත් MCC ගිවිසුමේ යෝජනා ක්‍රියාත්මක කරන බව සඳහන්ව තිබිණි.