මම ගමට එන්නේ ගම වගේ ම ගමේ ජීවිතත් ලස්සන කරන්නයි….! – ජනපති මීමුරේ දී කියයි….

February 13, 2021 at 5:15 pm | by emanisa.lk

ගම සමඟ පිළිසඳර රැගෙන තමා ගමට මෙන් ම ගම මෙන් ම ගමේ ජනතාවගේ ජීවිත ද ලස්සන කිරීම සඳහා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි.

“ගම සමග පිළිසඳරක්” වැඩසටහන සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාලාවල ප්‍රචාරය වූ පුවත් පිළිබඳ අදහස් දක්වමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මේ බව ප්‍රකාශ කළේ අද (13) මහනුවර දිස්ත්‍රික්කයේ උඩුදුම්බර මීමුරේ ගම්මානය කේන්ද්‍ර කර ගනිමින් පැවති ගම සමඟ පිළිසඳර වැඩසටහනේදී ය.

“මම මීමුරේට එනවා කියලා කිව්වාම සමාජ ජාල මාධ්‍යවල දාලා තිබුණා මේ පරිසරය විනාශ කරන්න එනවා කියලා. ඒක වැරැදියි. මේ ගම ලස්සන පෞරාණික ගමක්. ගම ලස්සන වගේ ම ගමේ ජනතාවත් ලස්සන වෙන්න ඕනේ. මම ගමට එන්නේ ගමේ මෙන්ම එහි ජනතාවගේ සංවර්ධනය උදෙසා ව්‍යාපෘති දියත් කිරීමටයි. සමාජ මාධ්‍ය ජාලාවල වැරදි ගෙනියනවා.

කයිකාවල පාසලේ දරුවෝ කිව්වා උසස් පෙළ ඉගෙන ගන්න හැතැක්ම ගාණක් ඈතට යන්න වෙනවා කියලා. අධ්‍යාපන ලේකම්තුමා ඉන්නවා. ඒක විසඳලා දෙන්න පුළුවන් නේද? පොඩි දරුවෝ ඉල්ලුවේ සෞන්දර්ය ගුරුවරයෙක්. ඒ වගේ ම පාසලේ ක්‍රීඩා පිටිය හදල දෙන්න වගේම තවත් ගොඩනැගිල්ලක් ඉදිකරන්න කියලා යුද හමුදාවට මම උපදෙස් දුන්නා.”

මෙහිදී ඊට පිළිතුරු දෙමින් අධ්‍යපාන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා ප්‍රකාශ කර සිටියේ කෘෂි කර්මය, සංචාරක කර්මාන්තය, භූගෝල විද්‍යාව ඇතුළු විෂය කේෂ්ත්‍ර කිහිපයක් ආවරණය වන පරිදි කයිකාවල පාසලේ දරුවන්ට උසස් පෙළ විෂයන් සඳහා අධ්‍යාපන කටයුතු ආරම්භ කරලීමට හැකි වටපිටාව ඉක්මනින් සකස් කිරීමට අවශ්‍ය කටයුතු කර දෙන බවයි.

මීමුරේ ගම්මානයට පැමිණෙන මීමුරේ -උඩුදුම්බර මාර්ගයේ ප්‍රතිසංස්කරණ වැඩකටයුතු සම්බන්ධයෙන් ද මෙහි දී ජනාධිපතිවරයාගේ විශේෂ අවධානය යොමු වූ අතර ගම්මානයට ලංගම බස් රථයක් ද ජනාධිපතිවරයා විසින් ලබා දීමට පියවර ගත්තේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස