මම කී දේ ඇහුවේ නැති ගෝඨාභයට ජනාධිපතිකමත් නැති වුණා…! – සනත් නිශාන්ත…

June 26, 2023 at 11:50 am | by emanisa.lk

පොහොර පිළිබඳ සැබෑ තත්ත්වය පැහැදිලි කිරීමට උත්සාහ කළ අවස්ථාවේ “ඔයාට මේකට සහයෝගය දෙන්න බැරි නම් කට වහගෙන ඉන්න” යැයි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තමන්ට පැවසූ බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත පවසයි.

තමා ගමෙන් පැමිණි දේශපාලකයෙකු ලෙස ගමේ ජනතාවගේ සිතුම් පැතුම් හොඳින් හඳුනන නිසා පොහොර ප්‍රශ්නය පිළිබඳව ඇත්ත පැවසූ නමුත් විවිධ පුද්ගලයන්ගේ බොරු මතවලට රැවැටී කටයුතු කළ ගෝඨාභය ජනාධිපතිවරයාට අවසානයේ තනතුරු ද නැති වූ බව හෙතෙම කීය.

“පසුගිය කාලේ රටට යම් ප්‍රශ්න මතුවුණා. ඒ එන්ජින් එකේ තිබුණු යම් අඩු පාඩු නිසයි. නමුත් දැන් එහෙම නෑ. දැන් එන්ජින් එක හොඳයි. නමුත් ටිකක් බරට අල්ලගෙන තමා එන්ජින් එක දුවන්නේ.

රටේ ආර්ථික ප්‍රශ්නයක් තියෙනවා. ඒක අපි නෑ කියන්නේ නෑ. ඒ නිසා ජනතාවට අමාරුයි. රටේ ඩීසල්, පෙට්‍රල් තිබෙනවා. නමුත් ගණන්. ගෑස් එකත් ගණන්. බඩු මිල වැඩියි. ඒවා ප්‍රශ්න. මම නෑ කියන්නේ නෑ. මොක ද මමත් ගමෙන් ආපු කෙනෙක්. ගමේ අම්ම තාත්තාගේ සහෝදර සහෝදරියන්ගෙ දුක මම හොඳට දන්නවා.

ඒත් මම පැහැදිලිව කියනවා මේ ප්‍රශ්න තියෙන්නේ තව කෙටි කාලයයි. දැන් ගොවියාට පොහොර තිබෙනවා. ධීවරයාට අවශ්‍ය පහසුකම් ලැබෙනවා. කිරි ගොවියා ඒ නිෂ්පාදන කරනවා. රටේ නිෂ්පාදන වැඩිවන විට ආර්ථිකය ඉබේ ම හැඩ ගැහෙනවා.

ඒ නිසා මේ පිළිබඳව ජනාධිපතිවරයාට සහ කෘෂිකර්ම ඇමතිවරයාට ස්තූති වන්ත විය යුතුයි. මට මතකයි එදා වැරදි තොරතුරු දුන් නිසා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ සමයේදී ධීවරයන් සම්බන්ධ ප්‍රශ්නයක් ඇති වුණා. එහිදී ධීවර සහෝදරයෙක් නැති වුණා. එදා හරි තොරතුරු මහින්ද ජනාධිපතිවරයාට දුන්න නම් ඒ ජීවිතය නැති වෙන්නේ නෑ. එන්.ජී.ඕ. කාරයො එදත් බොරු ප්‍රචාර යවලා රට අවුල් කළා. ඒක අදත් වෙනවා.

ඒත් අපි පැහැදිලිව කියනවා කොණ්ඩ වවාගත්ත රස්තියාදුකාරයන්ට නැවත මේ රට විනාශ කරන්න අපි ඉඩ දෙන්නේ නෑ. අද අපේ පක්ෂය ආසන සම්මේලන පවත්වමින් ජනතාව දැනුවත් කරමින් යනවා. අපිට හොඳ ප්‍රතිචාරයක් ගමෙන් ලැබෙනවා. ගොඩක් අය කිව්වා පොදුජන පෙරමුණ ඉවරයි කියලා. නමුත් එහෙම දෙයක් නෑ. පොදුජන පෙරමුණ අද තිබුණටත් වැඩිය ශක්තිමත්. අද ජනතාවට පොහොර ටික ලැබෙනවා. දුප්පත් ජනතාව වෙනුවෙන් ශුභසාධක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වනවා. යම් ප්‍රශ්න තියෙන්න පුළුවන්. නමුත් අපි ඒවා ක්‍රමානුකූලව විසඳාගත යුතුයි.”

පසුගිය දා හලාවතදී පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මාධ්‍ය හමුවකදී රාජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *