බුදුන් වහන්සේ දේශනා කළ ක්‍රමේට රට ගොඩනඟනවා…! – ජනපති…

October 6, 2022 at 2:35 pm | by emanisa.lk

මෑත ඉතිහාසයේ රට මුහුණ දුන් බරපතල ම ආර්ථික අර්බුදය ජය ගැනීම වෙනුවෙන් පැරණි කෝන්තර අමතක කර පොදු වැඩපිළිවෙළකට එක්වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ යළිත් විශේෂ ඉල්ලීමක් කරයි.

මෙහිදී අර්බුදයෙන් ගොඩ ඒම සඳහා සිව් වැදෑරුම් උපාය මාර්ගික සැලැස්මක් හඳුන්වාදීමට කටයුතු කළ ජනාධිපතිවරයා එහි පළමු පියවර මේ වන විට සාර්ථක කරගෙන ඇති බවත් දෙවන පියවර සාර්ථක කර ගැනීමට අවශ්‍ය පදනම සකස් කරගෙන යන බවත් සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ අදහස් පළ කළේ, වත්මන් ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් අද (06) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමිනි.

ජපන් – පිලිපීන සංචාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව දැනුම්වත් කළ ජනාධිපතිවරයා ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩ කටයුත්තේදී මැදිහත්කරුවෙකු ලෙස ප්‍රමුඛ කාර්යක් ඉටුකිරීමට ජපානය එකඟවීම සුබ ලකුණක් බවත් ණය ලබාදුන් රටවල් සමඟ පවත්වන සමුළුවේ සම සභාපති ධූරය දැරීමට ජපානයෙන් ඉල්ලීමක් කිරීමට බලාපොරොත්තුවන බවත් ප්‍රකාශ කළේය.

තවද ඉන්දියාව , චීනය, ජපානය යන ප්‍රධාන ණය ලබාදුන් රටවල් සමඟ මෙන්ම අනෙකුත් ණය ලබාදී ඇති රටවල් සමඟ සිදු කළ සාකච්ඡාවල ප්‍රගතිය මෙන්ම කඩිනමින් ඔවුන් සමඟ බහු පාර්ශ්වීය එකඟතාවකට පැමිණීමට අපේක්ෂා කරන බවද රනිල් වික්‍රමසිංහ පෙන්වා දුන්නේය.

එසේම සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලී ෂෙන් ලෝන් සමඟ පැවැත්වූ සාකච්ඡා සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව දැනුම්වත් කළ ජනාධිපතිවරයා සඳහන් කර සිටියේ, පසුගිය සමයේ අත්හැර දමා තිබූ සිංගප්පූරු – ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම යළි පණ ගැන්විය යුතු බවයි.

ඒ හරහා සිංගප්පූරුව සමඟ ස්ථාවර ආර්ථික ප්‍රවේශයක් ඇතිකර ගැනීමේ හැකියාව මෙන්ම අග්නිදිග ආසියාව සමඟ මෙරට ආර්ථික සම්බන්ධතා ශක්තිමත් කර ගැනීමේ හැකියාව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

කෘෂිකර්ම ක්ෂේත්‍රයේ ගනුලැබූ කඩිනම් පියවර හේතුවෙන් යල කන්නයේ අපේක්ෂිත අස්වැන්නට වඩා ඉහළ අස්වැන්නක් ලැබීමට හැකිවූ බවත්, ඉදිරි මහ කන්නය ද බාධාවකින් තොරව සාර්ථක කර ගැනීමට අවශ්‍ය බීජ මෙන්ම පොහොර ප්‍රමාණවත් පරිදි සූදානම් කර ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ තව දුරටත් කියා සිටියේය.

ආහාර සුරක්ෂිතතාව සහතික කරමින් කඩිනම් ආහාර නිෂ්පාදන වැඩපිළිවෙළක් සකස්කර තිබුණත් ආර්ථිකයේ හැකිලීම සහ උද්ධමනය වැළක්වීමේ අවශ්‍යතාව අවධාරණය කළ ජනාධිපතිවරයා එම තත්ත්වය වැළැක්වීමට ගත යුතු පියවර සම්බන්ධයෙන්ද පාර්ලිමේන්තුව දැනුවත් කළේය.

වැටී තිබුණු රටක් යළි ගොඩනැංවීමේදී මහා විජිත රජු අනුගමනය කළ කරුණු කූඨදන්ත සුත්‍රය මඟින් බුදුන්වහන්සේ පෙන්වාදී ඇති බව සඳහන් කළ ජනාධිපතිවරයා තමන් අනුගමනය කරන්නේ බුදුන් වහන්සේ පෙන්වාදුන් ක්‍රමවේදය බව වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *