බුද්ධි අංශ සහරාන් හමු වූ කතාව හරීන්ගේ බොරුවක්…! හැකි නම් එය පාර්ලිමේන්තුවෙන් පිටත කියනු…! රටේ බුද්ධි අංශ හෑල්ලු කරක පහත් දේශපාලනය එපා…! – සරත් වීරසේකර..

November 11, 2021 at 8:21 pm | by emanisa.lk

බුද්ධි අංශ නිලධාරීන් සහරාන් හෂීම් නමැත්තා හමුවූ බව ඔහුගේ බිරිඳ වන ෆාතිමා සාදියා නැමැත්තිය ප්‍රකාශ කර ඇති බවට හරීන් ප්‍රනාන්දු සිදුකළ ප්‍රකාශය අසත්‍ය බව මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර පවසයි.

ඇමැතිවරයා ඇගේ කට උත්තරය සභාගත කරමින් පාර්ලිමේන්තුවේදී අද (11) මේ බව පැවැසීය.

පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වී මැතිසබයේ දී කළ එම ප්‍රකාශය පිටත දී කර පෙන්වන්නැයි හරීන් ප්‍රනාන්දුට තමා අභියෝගයක් කරන බව ද සඳහන් කළේය.

පාස්කු ප්‍රහාරයට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහරාන් හෂීම්ගේ බිරිඳගෙන් ප්‍රශ්න කර තිබූ බවත් ශානි අබේසේකරගේ සීඅයිඩිය එදා ඒ පරීක්ෂණ හරියාකාරව සිදු කළේ නම් මෙවැනි විශාල විනාශයක් සිදු නොවනු ඇති බවත් ඇමැති සරත් වීරසේකර කීවේය.

හරීන් කියන්නේ නිවැරදිභාවයේ සංකේතය නොව බොරුවේ සංකේතය බව ද හෙතෙම සඳහන් කළේය.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම පිවිසුමේදී හරවා යැවූ බව කියන සැකකටයුතු ලොරියක් පිළිබදව හරීන් මන්ත්‍රීවරයා ප්‍රශ්න කළ බව පැවසූ ඇමැති වීරසේකර එය සැක කටයුතු ලොරියක් නොව චීනයේ සිට ගෙන එන ලද විසිතුරු මසුන් හොරණට ප්‍රවාහනය කරමින් තිබූ ලොරියක් බව ද පැවසුවේය.

ඒ පිළිබඳව සම්පූර්ණ විස්තරයක් ද අමාත්‍යවරයා මෙහිදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. අද පවතින්නේ පාස්කු ඉරුදින ප්‍රහාරය ගැන බොරු චෝදනා බොරු කතා වැඩි වැඩියෙන් ප්‍රචාරය වන කාලයක් බව ද අද සමහරුන් පාර්ලිමේන්තුවේ වීරයන් වීමට උත්සාහ දරන බව ද ඔහු ප්‍රකාශ කළේ‍ය.

බල්ලන්ට, බූරුවන්ට , හිවලුන්ට මේ රටට ආදරය කිරිමට හැකියාවක් නැතැයි සඳහන් කළ විරසේකර මහතා ජාතික ආරක්ෂාව හෑල්ලු කිරීමට කටයුතු නොකරන්නැයි සියලු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලීමක් කරන බවද පැවැසීය.

රාජ්‍ය බුද්ධි අංශයේ ප්‍රධානියා මේජර් ජෙනරාල් සුරේෂ් සලේ ගැන විවිධ අවලාද මතු කරන බවත් ඔහු අවංක දක්ෂ රටට ආදරය කරන නිලධාරියකු බවත් අමාත්‍යවරයා කීවේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස