බංකොලොත් පොහොට්ටුකාරයෝ ක්‍රිකට් දේශපාලනීකරණය කිරීම හෙළා දකිනවා..! – සජිත්…

June 24, 2022 at 6:15 pm | by emanisa.lk

පසුගිය කෝප් කමිටු රැස්වීමේ දී විදුලි බල මණ්ඩලයේ සභාපතිවරයා විසින් සිදු කරන ලද ආන්දෝලනාත්මක ප්‍රකාශය මාධ්‍යයට වාරණය කිරීම තරයේ හෙළා දකින බවත් එසේ තොරතුර ජනතාවට සහ මාධ්‍යයට වාරණය කිරීමට කෝප් කමිටුවට හෝ එහි සභාපතිවරයාට බලයක් නොමැති බවත් එම තොරතුර ජනතාවට සහ මාධ්‍යට දැන ගැනීමට අයිතියක් ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

මෙරට විදුලි බල ක්ෂේත්‍රයට අදාළව විදුලිබල මණ්ඩලයේ හිටපු සභාපතිවරයා වන එම්. එම්. සී. ෆර්ඩිනැන්ඩු විසින් පසුගියදා කෝප් කමිටුව හමුවේ සිදු කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය මාධ්‍යයට අනාවරණය නොකරන්නේ ජාතික ආරක්ෂාව නිසා බවත් එහි සංවේදී කාරණා ඇති බවටත් කෝප් කමිටුවේ සභාපතිවරයා විසින් සිදු කළ එකී ප්‍රකාශය තරයේ හෙළා දකින බවත් එම තොරතුරු දැන ගැනීමට ජනතාවට අයිතියක් ඇති බවත් පැවසූ විපක්ෂ නායකවරයා වැඩිදුරටත් කියා සිටියේ එම තොරතුරු සැඟවීමෙන් අනාවරණය වන්නේ ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය පසුගිය කාලයේ බහුජාතික සමාගම් සමඟ රහස් ගිවිසුම් රැසක නිරතව ඇති බවයි.

ආණ්ඩුව ව්‍යවස්ථා ප්‍රෝඩාවක!
මාස 2කට ආසන්න කාලයක් ගෝ හෝම් ගෝටා කියමින් අරගලයේ නිරත තරුණයන් ඉල්ලා සිටින්නේ ජනාධිපතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය ඉවත් වී නව රජයක් බලයට පත් වන ලෙස සහ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කරන ලෙස වුවත් වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය එම කිසිසේත් ගණන් නොගෙන කටයුතු කරන බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
වසර දෙකහමාරකට ආසන්න කාලයක් රට තුළ ආහාර, ඉන්ධන පෝලිම් සාදා, දරුවන්ගේ අධ්‍යාපනය අඩාල කර, ජනතාවගේ ජීවන තත්ත්වය විනාශ කළ වත්මන් රජයට ඉවත් වෙන ලෙස කොතෙක් ජනතාව කීවත් මොවුන් ඉවත් නොවන බවත් ව්‍යවස්ථා සංශෝදනයක් ගෙන ආවත් එය ගෙන එන්නේ 2025 බවත් පවසන දුර්දාන්ත පාලනයක් ගෙන යන රජය සමඟ කිසිසේත්ම එක් නොවන බවත් විපක්ෂ නායකතුමා වැඩිදුරටත් කියා සිටියේය.

ක්‍රිකට් දේශපාලනීකරණය කිරීමේ බංකොලොත් උත්සාහය!
රට තුළ පැවැති අර්බුධකාරී තත්ත්වය හමුවේ වුවත් ක්‍රිකට් තරගාවලියක් සඳහා මෙරටට පැමිණි ඔස්ට්‍රේලියානු කණ්ඩායමට කෘතගුණ දැක්වීමක් වශයෙන් මෙරට සුවහසක් ක්‍රිකට් ක්‍රීඩාලෝලීන් සංවිධානය කළ කහ පැහැති ඇඳුම් ඇඳ අවසන් තරගය නැරඹීමේ වැඩසටහන, බංකොලොත් දේශපාලනයක නිරත වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ශ්වකරුවන් විසින් සිය දේශපාලන න්‍යාය පත්‍ර ඉටු කර ගැනීම සඳහා යොදා ගැනීම තරයේ හෙළා දකින බවත් මේ ලැබූ විශිෂ්ට ජයග්‍රහණය වෙනුවෙන් සමස්ත ජාතියම සතුටු වෙන අවස්ථාවක බංකොලොත් දේශපාලනයක නිරතවන පිරිස් පිළිබඳ ඇත්තේ දැඩි කළකිරීමක් බවත් විපක්ෂ නායකතුමා පැවසීය.

අර්බුධ සමයක වුවත් මෙරටට පැමිණීම සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමට, එම රජයට සහ ඔස්ට්‍රේලියානු ජනතාවට ස්තූතිවන්ත වන බවත් ඔවුන්ගේ පැමිණීම අනෙක් රටවලට ආදර්ශයක් බවත් පැවසූ විපක්ෂ නායකවරයා වැඩිදුරටත් කියා සිටියේ අපේ රටට දමා ඇති සංචාරක තහනම් ඉවත් කර නැවතත් අපේ රටට පැමිණෙන ලෙස විදෙස් රටවලට ආරාධනා කරන බවයි. එසේම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දක්ෂතා සම්බන්ධයෙන් ආඩම්බර වන බව පැවසූ විපක්ෂ නායකවරයා වැඩිදුරටත් කියා සිටියේ ජනතාව විසින් ඔස්ටේ්‍රලියානු ක්‍රිකට් කණ්ඩායමට කෘත ගුණ දැක්වීමට හදවතින්ම සංවිධානය කළ මේ ක්‍රියාව දේශපාලනීකරණය කිරීමට පොහොට්ටුවේ දේශපාලනඥයන් සහ අනෙකුත් සම්බන්ධිත නාලිකා දරණා උත්සාහය තරයේ හෙළා දකින බවයි.

වර්තමානයේ රට පත්ව ඇති ව්‍යසනයෙන් මුදවා ගැනීම උදෙසා වෘත්තීය සමිති සහ සිවිල් ක්‍රියාකාරීන් ගේ ඒකාබද්ධ වැඩපිළිවෙලක අවශ්‍යතාවය අවධාරණය කරමින් මේ පිළිබඳව ප්‍රායෝගික වැඩපිළිවෙළක් ගොඩනැගීම උදෙසා වූ මාර්ග සිතියම පිලිබදව අදහස් සහ යෝජනා ලබා ගැනීමේ වැඩසටහනක් අද (24) කොළඹ නව නගර ශාලාවේ දී පැවැත්විණි. මේ අවස්ථාවට ප්‍රමුඛ පෙළේ වෘත්තිය සමිති නියෝජිතයින් සිවිල් සංවිධාන නියෝජිතයින් ඇතුළු පිරිසක් එක්ව සිටියහ. රට බේරාගැනීමේ මෙහෙයුම සාක්ෂාත් කරගැනීම උදෙසා එහිදී පුළුල්ව සාකච්ඡාවට ලක් කෙරිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස