පෞද්ගලික ඉඩම්වලින් වට වූ අපේ ඉඩම සිංහරාජෙ කොටසක් නෙමෙයි…! අලිමංකඩක් ලෙස නම් කළ කතාවත් බොරුවක්…! – කලවානේ ඉඩම ගැන ගුරුගේ මැණික් ආයතනයෙන් නිවේදනයක්…

March 19, 2021 at 5:25 pm | by emanisa.lk

ආන්දෝලනයට ලක්ව ඇති රත්නපුර කලවාන ප්‍රදේශයේ සිය ඉඩම වසර 45කට අධික කාලයක් පෞද්ගලික අයිතිය යටතේ පවතින පැරණි තේ වගාවක් සහිත ලියාපදිංචි සින්නක්කර ඔප්පු සහ පත්තිරු සහිත ඉඩමක් බව ගුරුගේ මැණික් ව්‍යාපාරය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එසේ ම සිය ඉඩම කිසිදු දිශාවකින් සිංහරාජ රක්ෂිතයට මායිම් වී නොමැති බවත් එක් දිශාවකින් කලවාන-රක්වාන මාර්ගය ද අනෙක් දිශාවලින් පෞද්ගලික ඉඩම්වලින් ද වට වී ඇතැයි එම ආයතනයේ අධ්‍යක්ෂ ජී.පී. ගුරුගේ නිකුත් කළ නිවේදනයෙහි දැක්වෙයි.

එම ප්‍රදේශය අලිමංකඩක් ලෙස වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර නොමැති බවත් කිසිදු හෝටලයක් සිය ඉඩමේ ඉදි නොකරන බවත් එහි ප්‍රකාශ වෙයි. එසේ ම එය සිය පවුලේ තිදෙනෙකුට අයත් කොටස් තුනකින් සමන්විත බවත් ප්‍රාදේශීය සභාවේ සහ ජාතික ගොඩනැඟිලි පර්යේෂණායතනයේ අනුමැතිය සහිතව එහි නිවාස තුනක් ඉදිවන බව ද දැක්වෙයි.

එසේ ම මධ්‍යම පරිසර අධිකාරියේ නිර්දේශ පරිදි ඉඩමෙහි පාංශු සංරක්ෂණය සහ තේ වගාවට උචිත පරිදි ගල්වැටි දමා ඇති බවත් මෙයට පෙර ඉඩමේ හිමිකරුවන් ජල බෝතල් නිෂ්පාදන ආයතනයක් සඳහා එළිකළ භූමිය ද ප්‍රදේශයට ආවේණික ගස් 200ක් පමණ සිටුවා සංරක්ෂණයට කටයුතු කර ඇති බව ද එම නිවේදනයෙහි වැඩි දුරටත් සඳහන් වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස