පාස්කු බෝම්බකරුට ඇමති බදියුදීන් අතදිගහැර වට්ටම් දෙයි! කාර්මික සංවර්ධන මණ්ඩලයට මිලියන ගණනක දැවැන්ත පාඩුවක්!

July 2, 2020 at 7:19 am | by emanisa.lk

පාස්කු ඉරු දින සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී මරාගෙන මැරෙන බෝම්බයක් පුපුරවා ගත් මොහොමඩ් ඉන්ෂාෆ් අහමඩ් නැමැත්තාට අයත් වූ තඹ නිෂ්පාදනය කරන කොලෝසස් පුද්ගලික සමාගමට අධික ලාභයක් ලැබෙන ලෙස, හිටපු කර්මාන්ත සහ වාණිජ කටයුතු අමාත්‍යවරයකු වූ රිෂාද් බදියුදීන් කාර්මික සංවර්ධන මණ්ඩලය හරහා වට්ටම් ලබා දී ඇති බව කාර්මික සංවර්ධන මණ්ඩලයේ අලෙවි අධ්‍යක්ෂ සරත් උදයසිරි පාස්කු ඉරු දින බෝම්බ ප්‍රහාර මාලාව පිළිබඳ විමර්ශන සිදුකරන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් ඊයේ (01) ප්‍රකාශ කළේය.

කාර්මික සංවර්ධන මණ්ඩලයේ ඇස්තමේන්තුගත ලේඛනවලට අනුව කොලෝසස් පුද්ගලික සමාගමට වාසි සහගත ලෙස තඹ අමුද්‍රව්‍ය විකිණීම නිසා එම  මණ්ඩලයට රුපියල් මිලියන 4.6කට අධික පාඩුවක් සිදු වී ඇති බවද, සරත් උදයසිරි සඳහන් කළේය.

කොලෝසස් පුද්ගලික සමාගමට එලෙස අධික ලාභයක් ලැබීමට සැලැස්වීම නිසා පාඩු සිදු වූ තඹ අමුද්‍රව්‍ය මිලදීගන්නා අනිකුත් සමාගම් කාර්මික සංවර්ධන මණ්ඩලය වෙත දිගින් දිගටම  පැමිණිලි ඉදිරිපත් කර තිබූ බවද ඔහු කියාසිටියේය.

සරත් උදයසිරි මෙලෙස ප්‍රකාශ කරසිටියේ 2017 වර්ෂයේ සිට 2019 වර්ෂය දක්වා කාර්මික සංවර්ධන මණ්ඩලයේ විකුණුම් ලේඛනවල සඳහන් තොරතුරු ජනාධිපති කොමිසම හමුවේ හෙළිදරව් කරමිනි.

පාස්කු ඉරු දින බෝම්බ ප්‍රහාර මාලාව පිළිබඳ විමර්ශන කරන ජනාධිපති කොමිසම අභියාචනාධිකරණ විනිසුරු ජනක් ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ස්ථාපිත කොට තිබෙන විශේෂ කාර්යාලයේදී ඊයේ (01) රැස්විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස