පාස්කු ප්‍රහාරයට ඍජුව සම්බන්ධ මහ මොළකරුවන් අල්ලනු…! බෞද්ධ ජනතාව භික්ෂූන් වහන්සෙලා අප සමඟයි…! බෞද්ධ සංවිධාන තහනම් කර රටේ නැති ප්‍රශ්න හදන්න එපා…! – කාදිනල් හිමි….

March 3, 2021 at 7:22 am | by emanisa.lk

පාස්කු ප්‍රහාරයට වසර දෙකක් ගතවීමට පෙර එහි මහ මොළකරුවන් සොයාගැනීමට අසමත් වුවහොත් රට පුරා දැවැන්ත විරෝධතාවක් ගොඩනඟන බව අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පවසති.

“ජනාධිපති කොමිෂන් සභාව සිය කටයුතුවල යෙදෙන අතරතුර රටේ ආරක්ෂාව භාර අදාළ ආයතන වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, ත්‍රස්ත විමර්ශන ඒකකය සහ රාජ්‍ය බුද්ධි සේවය යන ආයතන මෙම සාපරාධී මිනිස් ඝාතනය පිළිබඳ පරීක්ෂණ ගැඹුරින් සිදුකළාදැයි විශාල සැකයක් අප සතුව තියෙනවා. පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන් කොටුකර ගැනීමට එම ඉහත රාජ්‍ය අංශ කටයුතු කරන බවක් පෙනෙන්නට නොමැති බව පැහැදිලිව ප්‍රකාශ කරන්නට ඕනේ.

යම් යම් දේවල් කරලා තිබුණත් ඒවා ඕනෑවට එපාවට කරනවා වගේ තමයි අපිට පෙනෙන්නේ. ඒ නිසා බලධාරීන්ගෙන් අහන්නේ, මේ ප්‍රහාරවලට මුල්වු මහ මොළකරුවන් ඒවාට අනුබලදුන් අය, මුදල් දායකත්වය දුන් අය වගේම ඒවා සම්බන්ධයෙන් පවත්වන්නට යෙදුනු විවිධ විමර්ශනයන් දුර්වල කිරීමට හා කඩාකප්පල් කිරීමට අතගැසු අය ගැන පරීක්ෂණ පවත්වා නීතිය හමුවට ගෙන්වීමට වසර 2ක් ගත වුවත් තවමත් නොහැකි වුණේ ඇයි ද යන්න අපට පැහැදිලි කර දෙන්න.

අපට අවශ්‍ය වන්නේ මේ ප්‍රහාරය සෘජුවම සම්බන්ධ අය සහ ඊට අනුබලදුන් අය අනාවරණය කර ගැනීම මිස බොදුබල සේනා වගේ ජාතික බෞද්ධ සංවිධාන තහනම් කරීම නොවෙයි. එවැනි නිර්දේශ නිසා පාස්කු ප්‍රහාරයේ සැබෑ කතුවරු සොයා යාමේ උත්සහය යම් ලෙසකින් වෙනත් මඟකට යොමුනරන බව අපේ හැගීමයි. එදා ප්‍රහාරය අවස්ථාවේ අප සමඟ සමීපව ම සිටියේ බෞද්ධ ජනතාව සහ භික්ෂූන් වහන්සේලා බව කෘතවේදීව සිහිපත් කළ යුතුයි.

ප්‍රහාරය ගැන විවිධ පෙර දැනුම් ලැබුණත්, ප්‍රහාරය ගැන දැන දැනත් තමන්ගේ ආත්මාර්ථකාමී අරමුණු මුදුන්පත් කර ගැනීමට එය වැළැක්වීමට කටයුතු නොකළේ මහ පොළොව උසුලන්නේ නැති මහ අපරාධයක්. ඒ අය දැන් දේශපාලන පක්ෂවල සෙවන සොයා තමන් ශුද්ධවනත්යන් ලෙස පෙනී ඉඳලා බේරෙන්න හදනවා. එහෙම කරපු අයට ගණන් දෙන්න වෙන බව අපි කවුරුත් මතක තබාගත යුතු වෙනවා. කොයි ලොකු පුටුවේ හිටියත් බොරුකරලා බේරෙන්න බැහැ කියලා. අපි ඒ අයට මතක්කරනවා.

අපි ජන නායකයින්ගෙන් ඉල්ලා සිටින්නේ මේ කොමිෂන් සභාවේ වාර්තාවේ අදාළ කරුණුත් ප්‍රයෝජනයට අරගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හරහා මේ විනාශය සැලසුම්කළ, ඊට අනුබලදුන් සහ මේ සාහසික මිනිස් ඝාතනයට මුදල් වියදම් කළ මහ මොළකරුවන් නීතිය ඉදිරියට ගෙනෙන්නට කල්මරන්න එපා කියලා.

අප්‍රේල් 21 වනවිට අවුරුදු දෙකක් සම්පූර්ණ වෙන අවස්ථාවේ යුත්තිය ඉටු නොවෙන බවට හැඟුණොත් අපිට සිද්ධවෙනවා කළු ඇඳුම් පමණක් නොව මුළු ලංකාවේම අපේ සහෝදර ජනතාවගෙන් ඉල්ලන්න සිදුවෙනවා ලංකාව වටේම කළු කොඩියක් එල්ලන්න කියලා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස