සර්ව පාක්ෂික සමුළුවට එක්වූ ප්‍රසිද්ධ දූෂිතයන් ඔවුන් හොරා කෑ ධනය වහාම භාණ්ඩාගාරයට ලබා දීමට කටයුතු කරන්නේ නම් සර්ව පාක්ෂික සමුළුව සාර්ථක වේ යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක අවධාරණය කරයි.
අදාළ මුදල්වලින් භාගයක් හෝ ලබා දුන්නත් මේ මොහොතේ රටේ ප්‍රශ්නවලට විසඳුමක් ලබා ගත හැකි බවත් ඒ තරමට විශාල මහජන ධනයක් ඔවුන් විසින් කොල්ල කා ඇති බවත් ජවිපෙ නායකයා සඳහන් කළේය.
ඒ අනුව චීන සමාගම්වලින් මුදල් ගැනීම, මහ බැංකුවේ බැඳුම්කරවලින් ගසා කෑම, සීනි බදු වංචාවෙන් මුදල් ගසා කෑම, මිග් යානා ගනුදෙනුවෙන් වංචා කළ, කොටස් වෙළෙඳපොළ හරහා සේවක අර්ථසාධක අරමුදලේ ධනය මිතුරු ව්‍යාපාරිකයන්ට ලබා ගැනීමට ඉඩ සැලසීම, කඩාවැටුණු ග්‍රීසියේ බැඳුම්කර තැන්පත් කිරීම ඇතුළු වංචා ගණනාවකට සම්බන්ධ වූ ප්‍රසිද්ධම දූෂිතයන් ටික සර්ව පාක්ෂික සමුළුවට සහභාගි වී සිටි බව ඔහු පෙන්වා දුන්නේය.
මන්ත්‍රිවරයා වැඩි දුරටත් පැවැසුවේ අද ආර්ථිකය දැඩි වියවුලකට පත්ව ඇති අතර ඩොලරයේ අගය රුපියල් 310ක් වී ඇති බවත් ආණ්ඩුවේ ඇමැතිවරු ප්‍රකාශ කරන පරිදි ඩොලරය රුපියල් 400 ඉක්මවීම වැඩි ඈතක නොවන බවත්ය.
මේ අනුව ජනතාවගේ අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා දරාගත නොහැකි තරමට ඉතා ඉහළ යන සේම මූල්‍ය පද්ධතිය දෙදරා යෑමේ සූදානමක් දැන් උද්ගතව ඇති බව පෙන්නුම් කරන්නේ යැයිද ඔහු පැවැසීය.
රටේ අර්බුදවලට විසඳුම් නැති ආණ්ඩුව සර්ව පාක්ෂික සමුළු කැඳවූ නමුත් පසුගිය අවුරුදු 30කට අධික කාලයක් පුරා අගමැතිකම් දැරූ, ජනාධිපතිකම් දැරූ, ඇමැතිකම් හා මහ බැංකු අධිපතිකම් දැරූ මේ අර්බුදයේ වගඋත්තරකරුවන්ම රටේ ආර්ථිකය ගොඩනඟන විසඳුම් සෙවීමට සාකච්ඡා කිරීම විහිළු සහගත බවද පැවැසීය.
එම නිසා ඔවුන්ට ලබාදිය හැකි එකම විසඳුම වන්නේ ඔවුන්ගේ පාලන කාලය තුළ ඔවුන් විසින් මහජන දේපළ හොරා කෑ අති විශාල ධනය භාණ්ඩාගාරයට ලබාදීමෙන් පමණක් බවද හෙතෙම වැඩිදුරටත් පැවැසීය.