ප්‍රචණ්ඩ අරගලකරුවන් මර්දනය කරනු මිස තේ පැන් සංග්‍රහ කරන්න බෑ…! ඔවුන් දිනුවා නම් රටේ ප්‍රජාතන්ත්‍රවාදයයි සර්වජන ඡන්ද බලයයි දෙක ම ඉවරයි…!

September 4, 2022 at 12:35 pm | by emanisa.lk

පාර්ලිමේන්තුව අල්ලාගන්නට පැමිණි අය මර්දනය කළා යැයි ද ඔවුන්ට හරියට සැලකුවේ නැතැයි ද ඇතැමුන් කියන බවත් කළ යුතුව තිබුනේ එලෙස අආ අයට පාර්ලිමේන්තු කැන්ටිමෙන් තේ කෝප්ප අරං දීම දැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රශ්න කරයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකාවේ 156 වන පොලිස් දිනය නිමිත්තෙන් ඊයේ (03) පස්වරුවේ බම්බලපිටිය පොලිස් ක්ෂේත්‍ර බලකා මුලස්ථනයේ පැවැති උත්සවය අමතමිනි.

“පාර්ලිමේන්තුව නැතිව පිටින් අගමැතිවරයා හෝ කැබිනට් මණ්ඩලය ඉවත් කරන්නට කවුරුන් හෝ බලනවා නම් ඒ අය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක්. එය වීර ක්‍රියාවක් කියා කියන්නට බැහැ. අපට මුහුණ දෙන්නට සිදු වුණේ එවැනි අවස්ථාවකටයි.

ඉකුත් මාර්තු මාසයේදී තරුණයන් එක් වී ආණ්ඩුවකට විරුද්ධව අරගලය කියා ව්‍යාපාරයක් ආරම්භ කළා. ඒ අය ක්‍රියා කළේ සාමකාමීවයි. ඒ අයගේ නොයෙක් අංශවල දක්ෂකම් පෙන්නුවා. ඒ පිළිබඳව කාටවත් ප්‍රශ්න කරන්නට බැහැ. ඔවුන් ප්‍රචණ්ඩත්වයෙන් තොරව සාමකාමීව ඒ උද්ඝෝෂණය ගෙන ගියා.

අවාසනාවකට ඉකුත් ජුනි මාසයේ දී සාමකාමී කණ්ඩායම ඉවත් කොට ප්‍රචණ්ඩකාරීන් විසින් ඒ ව්‍යාපාරය අල්ලා ගත්තා. ඔවුන් රජයේ ගොඩනැගිලි අල්ලා ගත්තා. පාර්ලිමේන්තුවත් අල්ලා ගන්න උත්සාහ කළා. පාර්ලිමේන්තුව අල්ලා ගත්තා නම් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයත් අවසන් වෙනවා.

මෙය නීතියේ ආධිපත්‍ය මෙන්ම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක්. එමෙන්ම ජනතාවගේ සර්වජන ඡන්ද බලය නැති කිරීමක්. ඒ අවස්ථාවේදී පාර්ලිමේන්තුව ආරක්ෂා වුණේ හමුදාව සහ පොලිසිය එය ආරක්ෂා කිරීමට ක්‍රියා කළ නිසයි.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *