පවතින ගැටලු විසඳා ගැනීම වෙනුවෙන් නව නීති සම්මත කිරීමේ බලය තිබෙන්නේ ජනාධිපතිවරයාට නොව පාර්ලිමේන්තුවට බවත් සිදු කරන්නේ රට වෙනුවෙන් අදාළ යෝජනා ගෙන ඒම පමණක් බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව ප්‍රකාශ කළේ ඊයේ (26) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සර්ව පාක්ෂික සමුළුව අමතමිනි.
ජාතික සංහිඳියා වැඩසටහන සහ උතුර- නැගෙනහිර සංවර්ධන සැලැස්ම පිළිබඳ පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ නායකයින් දැනුම්වත් කිරීම සඳහා මෙම සමුළුව කැඳවා තිබිණි.
එසේම පාර්ලිමේන්තුවේ එක් ඡන්දයක් පමණක් ඇති තමාට එම කාර්ය තනිව සිදු කළ නොහැකි බවත්, මෙම කටයුතු ඉදිරියට ගෙන යාමට පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දෙනා සාමුහිකව කැපවී ක්‍රියා කළ යුතු බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය.
පළාත් සභා නවයෙන් හතක්ම තිබෙන්නේ සිංහල ජනතාව වැඩි වශයෙන් ජීවත්වන ප්‍රදේශවල බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, පළාත් සභා ක්‍රමය ඉදිරියට පවත්වා ගෙන යාමට අපේක්ෂා කරනවා නම් මේ වන විටත් අත්දැක ඇති අඩුපාඩු සකස් කළ යුතු බව ද සඳහන් කළේය.
පළාත් සභා සතු විය යුතු විෂය කිහිපයක් මධ්‍යම රජය යටතේ පවතින බවත් එබැවින් එම බලතල මෙන්ම කෘෂිකර්මාන්තය, සංචාරක වැනි ක්ෂේත්‍රවල බිම් මට්ටමේ කටයුතු පවත්වාගෙන යාමේ බලතල පළාත් සභාවලට ලබාදිය යුතු බව ද ජනාධිපතිවරයා පැවසීය.
මධ්‍යම ආණ්ඩුව කළ යුත්තේ රට වෙනුවෙන් ප්‍රතිපත්ති සම්පාදනය කිරීම බවත් පළාත් සභා වෙත සෑම ක්ෂේත්‍රයකම සංවර්ධන කටයුතු සඳහා විධිමත්ව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පහසුකම් සපයා දිය යුතු බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනයෙහි දැක්වෙන ආකාරයට පළාත් සභා වෙත පොලිස් බලතල ලබාදීම සම්බන්ධව සියලු පාර්ශ්ව එක්ව සාකච්ඡා කර තීන්දුවක් ගත යුතු බව ද ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියේය.
පළාත් සභා මන්ත්‍රීවරුන්ට එම ධූරය තබාගෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පත්වීමේ අවස්ථාව සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එම මන්ත්‍රී ධූරය තබාගෙන පළාත් සභා මන්ත්‍රීවරයකු ලෙස පත්වීමට හැකියාව ලැබෙන ආකාරයට කටයුතු සකස් කරන ලෙස යෝජනා වී ඇති බවත්, ඒ පිළිබඳව ද සාකච්ඡා කර තීන්දුවක් ගත හැකි බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, කතානායක මහින්ද යාපා අබේවර්ධන, විපක්ෂනායක සජිත් ප්‍රේමදාස, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, දෙමළ ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන්, එම්. ඒ. සුමන්තිරන්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩලස් අලහප්පෙරුම, විමල් වීරවංශ, ගෙවිඳු කුමාරතුංග, වාසුදේව නානායක්කාර, උදය ගම්මන්පිල, සරත් වීරසේකර, ජී.එල්. පීරිස්, අතුරලියේ රතන හිමි, වීරසුමන වීරසිංහ, අනුර ප්‍රියදර්ශන යාපා, සී.වී. විග්නේෂ්වරන්, ලක්ෂ්මන් කිරිඇල්ල ඇතුළු මන්ත්‍රීවරු රැසක් මෙහිදී අදහස් දැක්වූ අතර විවිධ පක්ෂ නියෝජනය කරන පක්ෂ නායකයෝ සහ නියෝජිතයෝ ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.