පරාජිතයෝ අප පරිසරවේදී වේශයෙන් එනවා….! පුරාවිද්‍යා භූමි, වනාන්තර ඩෝසර් කරල ගෙවල් හැදුවේ මේ අය තමයි….! – නිමල් ලාන්සා

March 31, 2021 at 7:18 am | by emanisa.lk

පරිසරය, ජාතික සම්පත් හා ආර්ථිකය විනාශ කළ අය පරිසරය ගැන කතා කිරීම විහිළුවක් – ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා

පරිසරය, ජාතික සම්පත් හා ආර්ථිකය විනාශ කළ පිරිස් පරිසරය ගැන කතා කිරීම විහිළුවක් බවත් හැකි නම් පරිසරය වෙනුවෙන් පැළ සිටුවීමේ හෝ පරිසරය ආරක්ෂා කිරීමේ වැඩසටහනක් නිර්මාණය කරන ලෙස ඔවුන්ට අභියෝග කරන බව ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා සඳහන් කරයි.

රාජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කර සිටියේ (28) වත්තල ආසනයේ මාර්ග සංවර්ධන වැඩසටහන් සඳහා එක්වෙමින්ය.

“පරාජිතයෝ ටික පරිසරවේදී වේශයෙන් එනවා. වනාන්තර කපලා විනාශ කරලා, ගෙවල් හදනවා කියලා පුරා විද්‍යාත්මක තැන් විනාශ කරපු අය තමයි අවුරුදු පහක් ආණ්ඩු කළේ. මේ රටේ මිනිස්සු අමු අමුවේ මැරෙන්න ඇරලා, ජාතික සම්පත් විනාශ කරලා, මහ බැංකුව විනාශ කරලා මේ පරාජිතයෝ ටික පොඩි ගහක් අල්ල ගෙන තියෙනවා. පරිසරය විනාශ කරලා මිනිස්සු මැරෙන්න ඉඩ ඇරපු අය අද පරිසරය ආරක්ෂා කරන්න කථා කරනවා.

ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා තරම් පරිසරයට ආදරය කරපු නායකයෙක් නැහැ. එතුමා ආරක්ෂක ලේකම් කාලයේ දී ගඳ ගහපු කොළඹ පිරිසිදු කරලා මනරම්, ලස්සන කොළඹ නගරයක් නිර්මාණය කළා. අඩුම තරමේ යහ පාලනයට ඒ මනරම් නගරයේ නඩත්තු කටයුතුවත් හරියට කර ගන්න බැරිවුණා.

අපි අවුරුදු හතරකදී ලක්ෂ 20ක් මේ රටේ පැළ සිටුවනවා. පරිසරය ආරක්ෂා කර ගැනීමට, උෂ්ණත්වය අඩු කිරීමට අපි එම පියවර ගන්නවා. පරිසරය ආරක්ෂා කිරීම අපේ වගකීමක්. රජයේ වගකීමක්. මේ වසරේ ලක්ෂ පහක් පැළ සිටුවීමට කටයුතු කරනවා. පරිසරය ආරක්ෂා කරන හැටි විපක්ෂය අපට උගන්වන්න අවශ්‍ය නැහැ.

විපක්ෂය රට සංවර්ධනය කරද්දී විරුද්ධ වෙනවා. පරිසරය අපි සියලු දෙනා ආරක්ෂා කරන්න ඕන. පරිසරය අපි සියලු දෙනා රැක දෙනවා. පරිසරය ආරක්ෂා කරන්න සමාජ මාධ්‍යයට ගිහින් පැළයක් හිටවන එක දාල හරි යනවද? නැහැ. බොරු විග්‍රහ කරන අය තමයි මේ රටේ ඉන්නේ. අපි මාධ්‍ය සංදර්ශන නැතුව පැළ සිටවනවා. මාධ්‍ය ඉදිරීයේ වීරයන් වන අයට පැළ සිටුවන වැඩසටහනක් නිර්මාණ කරන්න කියලා මම අභියෝග කරනවා. පරිසරය ආරක්ෂා කරන වැඩසටහනක් නිර්මාණ කරන්න කියලා කියනවා.

දරුවන් රැකගන්න මහත්තයයි නෝනයි වෙනම බස්වල ගියපු ඉතිහාසයක් අපට තිබුණා. තිස් අවුරුදු යුද්ධයක් නිමා කරලා රටට සාමය උදා කරලා දුන්නෙ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා. ඒක අපේ ජනතාව අමතක කරලා යහපාලන රජය බලයට ගේනවා. මොකද වුණේ, පාස්කු බෝම්බ ප්‍රහාරය එල්ල වුණා. අපේ ජනතාවට ආයේ බිය සැක දැනෙන්න පටන් ගත්තා. ජනතාව ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටියේ ජාතික ආරක්ෂාව යළි තහවුරු කරලා දෙන්න කියලා. ජාතික ආරක්ෂාව යළි තහවුරු කරලා දීලා තියෙනවා. ආයේ අපේ පාලන කාලයේ බෝම්බ පිපිරෙන්නේ නැහැ. අතිගරු ජනාධිපතිතුමා ජාතික ආරක්ෂාවට ප්‍රමුඛතාව දීලා තියෙනවා.

කොවිඩ් දෙවැනි රැල්ල තාමත් යනවා. විපක්ෂයට එලියට බැහැලා තමන්ගේ මතය ප්‍රකාශ කරන්න, පාර්ලිමේන්තුවට යන්න අවස්ථාව උදා වෙලා තියෙන්නෙ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කොවිඩ් එක පාලනය කරගනිමින් එන්නත්කරණ වැඩසටහන නිවැරදිව කරගෙන යන්න කටයුතු කරලා තිබෙන නිසා කියලා පැහැදිලිව කියන්න ඕනේ.”

හිටපු පළාත් සභා මන්ත්‍රී රන්දීර් රොද්‍රිගෝ, වත්තල ප්‍රාදේශීය සභාවේ සභාපති ත්‍යාගරත්න අල්විස්, උප සභාපති ජගත් ජයතුංග, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්, ව්‍යාපෘති ඉංජිනේරු උපුල් නිරෝෂන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.

මාධ්‍ය ඒකකය
ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යංශය

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස