පණු කරඳ ගහේ විරෝධයට මධ්‍යම අධිවේගය නොනවතී….! ගස මැදිකර දෙපසින් අධිවේගය ඉදිරියට ම…!

February 17, 2021 at 7:01 am | by emanisa.lk

මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකරන වැඩබිමේ දාරළුව ප්‍රදේශයේ දී හමු වූ කෲඩියා සිලනිකා හෙවත් පණු කරඳ ගස ඉවත් නොකර එය දෙපසින් මාර්ගය ඉදිකිරීමට ආණ්ඩුව තීරණය කර ඇත.

එම ගස කපා දැමීම, ඉවත් කර වෙනත් තැනක සිටුවීම හෝ එවැනි වෙනත් කිසිදු ක්‍රියා මාර්ගයක් නොගන්නා ලෙසත්, ශාඛය ආරක්ෂිතව මගහැර එය දෙපසින් මාර්ගය ඉදිකිරීමට කටයුතු කරන ලෙසත් උපදෙස් දෙමින් මාර්ග සංවර්ධන අධිකාරිය වෙත ලිපියක් යවා ඇති බව ද දැනගන්නට ඇත.

ඒ පිළිබඳව පසුගිය කැබිනට් මණ්ඩලයට කරුණු වාර්තා කළ බවත්, මාර්ග සංවර්ධන අධිකාරිය වෙත යැවූ ලිපියට ලැබෙන පිළිතුර ඉදිරි කැබිනට් රැස්වීමකට ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වන බවත් වාර්තා වේ.

එම ගස රතු දත්ත පොතට ද ගිය ලෝකයේ දැනට ඉතිරි වී ඇති එම වර්ගයේ එක ම ගස යැයි කියමින් එය ඉවත්කිරීමට එරෙහිව පිරිසක් විරෝධය දැක්වූ අතර පසුව එම වර්ගයේ තවත් ගස් 07ක් සහ පැළ 20ක් ද ඇති බව හෙළි විය. කෙසේ වුව ද එම අනාවරණයෙන් පසු එම විරෝධය එම පරිසර පද්ධතිය රැකීමේ විරෝධයකට පෙරළිණි. මෙම සියලු කරුණු සලකා බලා එම ගස වෙනත් තැනක රෝපණයට පෙර ගත් තීන්දුව වෙනස් කර මෙම තීරණය ගෙන ඇති බව ද දැනගන්නට ඇත.

අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සඳහන් කළේ ආණ්ඩුවේ සංවර්ධන වැඩපිළිවෙළ පරාජය කරලීම සඳහා බෝධීන් වහන්සේට පමණක් වැන්ද රටේ පණු කරඳ ගසට ද වඳින්නට පටන් ගෙන ඇති බව ය. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා යටතේ ආරම්භ කළ මධ්‍යම අධිවේගී ව්‍යාපෘතිය යහපාලන ආණ්ඩුවට සම්පූර්ණ කරගත නොහැකි වීම පිළිබඳව එම ආණ්ඩුවේ කණ්ඩායම් සිටින්නේ දැඩි නොසතුටිනි.

මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිරියේ දී යාපනය දක්වා දීර්ඝ කිරීමට සැලසුම් කර ඇති අතර එය සංවර්ධනයට මෙන් ම බෙදුම්වාදය පරාජය කිරීමට ද වැදගත් උපායමාර්ගයක් ලෙස සැලකේ.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *