නැගෙනහිර ඉඩම් බෙදීමේ ජාතිවාදයක් නෑ,..! බාධා කළොත් නීතිමය පියවර ගන්නවා..! – සෙන්දිල් තොණ්ඩමන්…

October 28, 2023 at 9:38 am | by emanisa.lk

නැ‍ගෙනහිර පළාතේ ඉඩම් බෙදා දීමේ ක්‍රියාවලිය නීත්‍යනුකූලව මහවැලි අමාත්‍යංශය මගින් සිදුකරන බවත්, එම කටයුතු කිසි විටෙකත් වාර්ගික හා ආගමික පදනමින් සිදු නොකරන බවත් නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන් පවසයි.

එසේ ම, නැගෙනහිර පළාතේ ඉඩම් බෙදා දීමේ කටයුතු කඩාකප්පල් කිරීමට උත්සහ දරන පාර්ශ්වවලට එරෙහිව පොලිසිය නීතිමය පියවර ගනු ඇති බව ද ආණ්ඩුකාරවරයා සඳහන් කළේ ය.

“යුද්ධය අවසන් වී වසර කිහිපයකට පසුව නැගෙනහිර පළාතේ මයිලත්තමඩු – දිවුලපතාන ප්‍රදේශයේ ජීවත් වූ ජනතාව ක්‍රම ක්‍රමයෙන් යළි එම ප්‍රදේශවල පදිංචි වීමට පටන්ගෙන තිබෙනවා. ඒ අනුව කෘෂිකාර්මික සහ කිරි ගොවීන් වෙනුවෙන් අදාළ ඉඩම් ලබා දීමට කටයුතු කළා.

මයිලත්තමඩු ප්‍රදේශයේ නැවත පදිංචි කිරීමේදී පොළොන්නරුව සහ අම්පාර ප්‍රදේශවලින් විශාල පිරිසක් ගෙන්වාගෙන තිබෙනවා. ඔවුන්ගේ කෘෂිකාර්මික කටයුතු ආරක්ෂා කර ගැනීම සඳහා පිට දිස්ත්‍රික්කවල සිට පැමිණි ගොවීන්ට තාවකාලිකව දිරි දීමනා මුදලක් ලබා දීමට ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ උපදෙස් දී තිබෙනවා.

අම්පාර සහ පොළොන්නරුව ප්‍රදේශවල ජනතාව ද මේ ප්‍රදේශවල ඉක්මනින් පදිංචි කිරීම පිළිබඳව ද සොයා බලමින්තිබෙනවා. එ‍සේ ම යුද්ධයට පෙර මයිලත්තමඩු – දිවුලපතාන ප්‍රදේශයේ ජීවත් වූ ජනතාව ඔවුන්ගේ ඉඩම්වල නැවත පදිංචි කිරීමේ කටයුතු ජනාධිපතිතුමාගේ උපදෙස් මත මහවැලි අමාත්‍යාංශය මගින් නීත්‍යනුකූලව කරගෙන යනු ලබනවා.

මීට අමතරව රජයේ ඉඩම්වල අනවසරයෙන් පදිංචිව සිටින අයගේ ඉඩම් පවරා ගනිමින් ඔවුන් රජයේ ඉඩම්වල නීත්‍යානුකූලව පදිංචි කිරීමට ද මේ වන විට කටයුතු කරමින් සිටිනවා.

ඒ සමග ම මහවැලි ව්‍යාපාරය සඳහා නැගෙනහිර කෝරළයිපත්තු ප්‍රදේශයෙන් දෙමළ ජනතාව ද, නාවලඩි ප්‍රදේශයෙන් මුස්ලිම් ජනතාව ද ඉවත් කිරීමේ කටයුතු සිදු කෙරෙන්නේ ජාති ආගම් මත පදනම්ව නොවන බවත් අවධාරණය කළ යුතුයි. එම කටයුතු මුළුමනින් ම සිදු කරන්නේ නීත්‍යනුකූල ආකාරයටයි. එමෙන් ම ඉඩම් බෙදා දීමේ කටයුතු සිදු කෙරෙන්නේ ද ග්‍රාම සේවක නිලධාරීන් ලබා දෙන දත්ත පදනම් කර ගෙනයි.

එම සියලු කරුණු සැලකිල්ලට ගෙන සියලු ම ජනවර්ග සඳහා ශ්‍රී ලාංකිකයෙකු ලෙස නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනවා. එම නිසා නැගෙනහිර පළාතේ ඉඩම් නිදහස් කිරීම සම්බන්ධව තෙවන පාර්ශ්වයන් අනවශ්‍ය ලෙස අදහස් ප්‍රකාශ කිරීමට උත්සහ නොකරන ලෙස සියලු ම දෙනාගෙන් ඉල්ලා සිටිනවා.”

ඔහු මේ බව සඳහන් කළේ, ‘ස්ථාවර රටකට සැවොම එක මගකට’ මැයෙන් අද (27) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස