දේශප්‍රේමි ආණ්ඩුව ලංකාවේ මහා පාරවලුත් චීනෙට විකුණන්න යනවා…! – පාඨලී….

June 1, 2021 at 8:37 am | by emanisa.lk

හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක සිය ෆේස්බුක් ගිණුමේ තබන ලද සටහනකි.

පසුගියදා ආණ්ඩුව විශේෂ කැබිනට් පත්‍රිකා දෙකක් අනුමත කළේය. එකක් මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඉදිරිපත් කළ එකක් ය. මීට වසර එකහමාරකට පමණ අනුමත කරන ලද අතුරුගිරිය දක්වා කණු මතින් දිවෙන අධිවේගී මාර්ගය ඉදිකිරීම CHEC නමැති විදේශ සමාගමට පැවරීමට එමඟින් තීරණය කර තිබේ. ඒ අනුව ලංකා ඉතිහාසයේ පළමු වරට ලංකාවේ මහා මාර්ගයක අයිතිය විදේශ රටකට අවුරුදු 18කට පැවරීමට නියමිතය.

මෙහි ඇති තවත් සැඟවුනු කරුණක් නම් වසර එකහමාරක කාලයකට මෙය පමා වූයේ කෙසේද යන්නයි. මන්ද යහපාලන සමයේ මෙම මාර්ගය ජපානයේ සහන පොලී මත සැහැල්ලු දුම්රිය මාර්ග පද්ධතියේ ආරම්භය වශයෙන් රාජගිරිය දක්වා ඉදිකිරීමට අවශ්‍ය කරන ඉඩම් අත්පත්කරගැනීම් සහ විතැන් වන ජනතාවට නිවාස ලබාදීම් යන සියල්ල සිදුකර තිබූ නිසාය.

එමෙන්ම මේ සම්බන්ධයෙන් ප්‍රසම්පාදන ක්‍රියාවලියට අනුකූලව තරඟකාරීව ටෙන්ඩර් කැදවා තිබූණි. කිසිදු ටෙන්ඩර් කැඳවීමකින් තොරව මෙම ව්‍යාපෘතිය 2020 ජනවාරි මාසයේදීම පෙර කී සමාගමට ලබාදුන් අතර දැන් එය නැවත වරක් තහවුරු කර තිබේ. මෙය මෙතරම් පමාවූයේ පෝර්ට් සිටි පණත සම්මත කිරීම මෙම මාර්ගය ඉදිකිරීම සම්න්ධයෙන් කොන්දේසියක්ව පැවතියේද යන සැකය මතුවේ. පෝර්ට් සිටියේ කොන්ත්‍රාත්කරු වන්නේද CHEC සමාගමයි.

මේ වන විට උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා විසින් ශ්‍රී ලංකාවට ඛනිජ තෙල් ආනයනය කිරීම, පිරිපහදු කිරීම සහ බෙදාහැරීම සම්පූර්ණයෙන්ම පෞද්ගලික අංශයට සිදුකල හැකි වන පරිදි ඛනිජතෙල් නීතිගත පනත සංශෝධනය කිරීමට යෝජනා කර ඇතැයි වාර්තා වී තිබුණි. මේ මගින්ද යෝජනා කෙරෙනුයේ අන් කිසිවක් නොව 1960 දී ටී.බී. ඉලංගරත්න මහතාගේ මැදිහත්වීමෙන් සිරිමාවෝ බණ්ඩාරණායක මැතිණිය විදේශිකයින් සතු වූ ඛනිජ තෙල් බෙදාහැරීම ජනසතු කොට ඇති කල ඛනිජ තෙල් නීතිගත සංස්ථාව දේශමාමකයැයි කියාගන්නා රාජපක්ෂවරු විසින් විදේශිකයින්ටම යළි පවරාදීමේ ක්‍රියාවලියයි.

දැනට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අයහපත් මූල්‍ය කළමනාකරණය විසින් මිලියන 600ක පමණ ණය අර්බුදයකට ගොදුරුවී තිබෙන අතර විදේශීය මුදල් වලින් කල ගනුදෙනු සඳහා ලංකා බැංකුවට සහ මහජන බැංකුවට ඩොලර් බිලියන 3 ක පමණ ගෙවීම් පැහැර හැරීමක්ද සිදුකර ඇත. මේ සියල්ල සිදුකරමින් යන්නේ ඛනිජ තෙල් සංස්ථාව විදේශිකයින්ට පවරාදීමටදැයි යන සැකය මතුවී තිබේ. දැනටමත් සපුගස්කන්දේ සහ හම්බන්තොට තෙල් පිරිපහදු දෙකක් ඉදිකිරීම සඳහා කටයුතු සූදානම් වෙමින් ඇති අතර කලින් සඳහන් වූයේ ඒවා ඉදිකිරීම පමණක් විදේශිකයින්ට පැවරෙන බවයි. නමුත් දැන් පෙනීයන්නේ තෙල් බෙදාහැරීමද විදේශිකයින්ට පැවරීමට සූදානම් වන බවයි.

මෙහි තුන්වන පියවර වනුයේ පුත්තලමේ විදුලි ජනන බලාගාරය ඇතුළු බලාගාර කිහිපයක්ම විදේශිකයින්ට පැවරීමට විදුලිබල අමාත්‍යංශය පිඹුරුපත් සකසමින් සිටින බවයි. එයද නුදුරේ ම සිදුවනු ඇත. ඒ අනුව රටේ තීරණාත්මක සාධකයක් වන බලශක්ති ක්ෂේත්‍රය විදේශ රටවල් සතු කිරීමට දේශමාමක යැයි කියාගන්නා ආණ්ඩුව ක්‍රියාකරමින් ඇත. මේ පිළිබඳ මුලුමහත් ජාතියේම අවධානය යොමුවිය යුතුව තිබේ. රට අනුක්‍රමයෙන් විදේශ රාජ්‍යන්ට, විදේශ ධන කුවේරයින්ට යටත් වන ආකාරය සහ ඔවුන් විසින් මෙහෙයවන කූඨ දේශපාලකයින් පිළිබඳව ජනතා ඇස යොමුවිය යුතුය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස