දුම්පානය කරන්නන් අතර කොරෝනා වසංගතය පැතිරීමේ අවදානමක්! වසංගතය මැඩලන තුරු දුම්වැටි භාවිතය තහනම් කරන්න! – ශ්‍රී ලංකා දුම්කොළ සහ මද්‍යසාර අධිකාරිය

May 13, 2020 at 2:01 pm | by emanisa.lk

රජය විසින් ඇඳිරි නීතිය ඉවත්කර ජන ජීවිතය සාමාන්‍ය අතට පත්කළද දුම්වැටි භාවිතය ඉදිරි වසරකටවත් තහනම් කළ යුතු බව ශ්‍රී ලංකා දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති වෛද්‍ය සමාධි රාජපක්ෂ පවසයි.

දුම්වැටි භාවිත කරන පුද්ගලයන්ගේ පෙනහලු ඉතා දුර්වල වන බැවින් ශ්වසන රෝගයක් වූ කොරෝනා රෝගය සඳහා මෙය සෘජුවම බලපාන බවත් මේ වන විට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිල වශයෙන් දන්වා ඇති බවද හෙතෙම සඳහන් කළේය.

දුම්වැටි භාවිත නොකරන අයෙකුට වඩා, භාවිත කරන අයෙකුගේ කොරෝනා ආසාදනය වීමේ ප්‍රතිශතය 14% කින් වැඩි බව කී සභාපතිවරයා දුම්පානය කරන්නෙකුට වෛරසය ආසාදනය වුවහොත් දැඩි සත්කාර ඒකකයට යාමේ සහ මරණයට පත්වීමේ හැකියාවද නිරෝගී කෙනෙකුට වඩා බෙහෙවින් ඉහළ අගයක් ගන්නා බව සඳහන් කරයි.

වෛද්‍යවරයා පවසන පරිදි දුම්වැටියක විෂ රසායනික ද්‍රව්‍ය 4,000 ක් පමණ තිබේ. ලංකාවේ පුද්ගලයන් 60 ක් පමණ දුම්බීම හේතුවෙන් දිනකට මිය යන අතර එයින් 10%ක් එනම් 6 දෙනෙකු මියයන්නේ අක්‍රිය දුම්පානය නිසාය.

එමෙන්ම කොරෝනා පැතිරීම වළක්වා ගැනීම සඳහා මුඛ ආවරණ භාවිතය අනිවාර්ය කළ ද දුම්පානය කරන පුද්ගලයන් මෙය නොපැළඳීම අනතුරුදායක බවද හෙතෙම කීය. සුදුවැල්ලේ පුද්ගලයන් හයක් එකම දුම්වැටිය පාවිච්චි කළ බැවින් පහසුවෙන් ඔවුන් අතරේ කොරෝනා වෛරසය පැතිරුණ බවත් එය මෙරට මහත් ව්‍යසනයකට හේතු වූ බවත් ඔහු ​පෙන්වා දුන්නේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *