දිනකට රටේ පුරාවස්තු පිළිබඳ නඩු 10ක් ….! අපේ ජාතික උරුමය ජාත්‍යන්තර වෙළෙඳපොළේ විකිණෙනවා…!- පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්

February 18, 2021 at 10:16 am | by emanisa.lk

පුරාවස්තු විනාශ කිරීම් පිළිබඳ නඩු දහයකට පමණ දිනපතා අස්සන් කිරීමට සිදුව ඇතැයි පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග ප්‍රකාශ කරයි.

නොසිතන තරම් වේගයකින් පුරාවස්තු විනාශය සිදුවෙමින් පවතිතැයි ද පුරාවස්තූන් ආරක්ෂා කර ගැනීමට ප්‍රමුඛත්වය දිය යුතුව ඇතැයි ද ඔහු කියා සිටියේය.

තමන් පුරා විද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස පත්වන තුරුත් මේ තත්ත්වය හරිහැටි හඳුනාගෙන නොතිබු බව ද මහාචාර්යවරයා පැවැසීය.

ද්විපාර්ශවික ගිවිසුම් ඇති බැවින් ජාත්‍යන්තර වෙළඳ පොලේ නීතිවිරෝධී ලෙස ගෙන යන පුරාවස්තූන් අලෙවි කළ නොහැකි බැවින් මෙසේ මංකොල්ලකන පුරාවස්තූන් විදේශ රටවල අලෙවි වන්නේ නීති විරෝධී ලෙසින් වීම වඩාත් භයානක තත්ත්වය යැයි ද හෙතෙම සඳහන් කළේය.

මහාචාර්ය අනුර මනතුංග මේ අදහස් පළ කළේ ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ ඊයේ (17) පැවති දේශනයක දීය. ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව මගින් විදෙස් රටවල සැඟවුණ අපේ උරුමය නමින් මෙම දේශනය සංවිධානය කර තිබිණි.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ මනතුංග මහතා විදේශ රටවල ඇති අපේ උරුමයන් ආපසු ගෙන්වා ගැනීමට පෙර දැනට මෙහි පවතින පුරාවස්තූන් රටතුළ රැකගැනීමට ප්‍රමුඛත්වය දියයුතු යැයි කියා සිටියේය.

එමෙන්ම විදේශ රටවල පවතින අපේ උරුමයන් ගෙන්වා ගැනීමට පෙර ඒවායේ නීතිමය අයිතිය තහවුරු කර ගැනීමට අවධානය යොමුකළ යුතු යැයි ද, ඒ සඳහා ඉක්මන් පියවර ගත යුතු යැයි ද සඳහන් කළේය.

ශ්‍රී ලංකාවට අයත් පුරා වස්තූන් විදේශ රටවල් 27 ක ඇතැයි ද එයින් 15 ක් යුරෝපීය රටවල් වන අතර ඇමරිකාව කැනඩාව යන රටවල් ද ඒ අතර වෙතැයි ද පැවසූ අධ්‍යක්ෂ ජනරාල්වරයා අනෙක් රටවල් සියල්ල පාහේ බ්‍රිතාන්‍ය යටත් විජිත ලෙසින් තිබු රටවල් යැයි ද පැවැසීය.

ඉන්දියාවේ ද අපේ පුරාවස්තූන් ඇතත් ඒවා ගෙන ගොස් ඇත්තේ බ්‍රිරතාන්‍ය ජාතිකයන් විසින් බව ද ඔහු සඳහන් කළේය.

වැඩිම ප්‍රමාණ්‍යක් මෙරට පුරාවස්තූන් බ්‍රිතාන්‍යයන් විසින් ගෙන ගිය අතර තවත් අපේ පුරාවස්තූන් වැඩි ප්‍රමාණයක් ජර්මනියේ ඇතැයි ද කී පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා ජර්මන් ජාතිකයන් ඒ පිළිබඳ අධ්‍යයනයට උනන්දුවන පිරිසක් බවත් කියා සිටියේය.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස