ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ පෝෂණය ඉහළ නැංවීම සඳහා නව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට ක්‍රිකට් ක්ෂේත්රයේ පැන නැගී ඇති ගැටලු නිරාකරණය කිරීම සඳහා පත් කළ අමාත්‍ය අනුකමිටුව නිර්දේශ කර තිබේ.
ක්‍රීඩකයන්ගේ පෝෂණය ගැන සෙවීමට ක්‍රිකට් ආයතනයට පෝෂණවේදියකු සිටිය ද ඔහු සතියකට දවසක්වත් ක්‍රීඩකයන්ට දක්නට නොලැබෙන බව කමිටුව අනාවරණය කරගෙන තිබේ.
කණ්ඩායමේ සිටින ක්‍රීඩකයන්ට, ඒ ක්‍රීඩකයාට ගැළපෙන ආහාර වට්ටෝරුවක් මෙතෙක් සකස් කර දී නොමැති බවද සියලුම ක්‍රීඩකයන්ට දී ඇත්තේ එකම ආහාර වේලක් බවද කැබිනට් අනු කමිටුව අනාවරණය කරගෙන තිබේ.
ක්‍රීඩකයාගෙන් ක්‍රීඩකයාට තබා කණ්ඩායමෙන් කණ්ඩායමටවත් වෙනස් ආකාරයෙන් ආහාර වට්ටෝරුවක් සකස් කර දී නොමැති බවත්, ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයන්, නැගී එන ක්‍රීඩකයන් හා අවුරුදු 19න් පහළ කණ්ඩායමට දී ඇත්තේද එකම කෑම පාර්සල් එකක් බවද දන්වා සිටින කැබිනට් අනු කමිටුව, සමහර ක්‍රීඩකයන්ට ලබාදෙන කෑම පාර්සලය මදි නිසා ඔවුන්ට නිවසට ගොස් ආහාර ගැනීමට සිදුව ඇති බවත් එම කමිටු වාර්තා පෙන්වා දෙයි.
අදාළ කමිටුවේ සභාපති, විදේශ කටයුතු ඇමැති ජනාධිපති නීතිඥ අලි සබ්රි විසින් නිර්දේශ 40කින් යුත් අදාළ වාර්තාව ඉකුත් 01 වැනිදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත භාර දී තිබිණි. අදාළ කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස විදුලි බල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර, මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස්, කම්කරු හා විදේශ රැකියා ඇමැති මනුෂ නානායක්කාර කටයුතු කරනු ලැබීය.