දකුණට සිංහ නාද උතුරට බලු කෙඳිරිලි එපා! කොටි සැමරූ සුමන්දිරන් වහා ම අත්අඩංගුවට ගනු!

November 23, 2020 at 9:43 am | by emanisa.lk

මහවිරු සැමරුම් අධිකරණය විසින් තහනම් කර තිබියදී අධිකරණ නියෝග කඩකර කොටි සැමරුම් සිදුකළ දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම්. ඒ. සුමන්තිරන් වහා අත්අඩංගුවට ගෙන නීතිය ක‍්‍රියාත්මක කරන මෙන් බොදුබල සේනා සංවිධානය ඊයේ (22) රජයට අවධාරණය කළේ ය.

ආණ්ඩුව දකුණට සිංහනාද කර උතුරට බලු කෙඳිරිලි කිරීම දැන්වත් අවසන් කළ යුතු බව කී එම සංවිධානයේ මහා ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමි සුමන්තිරන් මේ වන තෙක් අත්අඩංගුවට නොගත්තේ මන්දැයි රජයෙන් ප‍්‍රශ්න කළේ ය.

“අධිකරණය මගින් මහවිරු සැමරීම වළක්වා ඇති අවස්ථාවක පුදුමසහගත ලෙස අධිකරණ නියෝගය ලබාදී පැය 24ක් යෑමට මත්තෙන් 1954 වසරේ ඉපදුණ 1985 වසරේ මියැදුණු කැප්ටන් පාන්ඩිතර් නමැත්තාගේ නිවසට ගොස් මහවිරු සැමරීම සිදුකර එහි ඡායාරූප තමාගේ ෆේස්බුක් පිටුවට එක් කිරීමට දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම්. ඒ. සුමන්තිරන් විසින් කටයුතු කර තිබෙනවා.

ඔහු නීතිඥවරයෙක්, එමෙන්ම පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙක්. ඔහු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකු ලෙස දිවුරුම් දීමේ දී රට බෙදුම්වාදයකට, ත‍්‍රස්තවාදයකට තුඩු දෙන ක‍්‍රියාකාරකමක නොයෙදෙන බවට සහ එවැනි ක‍්‍රියාවකට අනුබල නොදෙන බවට දිවුරුමක් ලබාදී තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙක් ලෙස මෙන්ම නීතිඥවරයෙක් ලෙස ඔහු සපයන ආදර්ශය මෙය නම් අර හැඟිම්බර වෙච්ච, කැලෑවල ජීවත් වුණ දෙමළ තරුණයෝ අවි අතදැරීමට සිත් පෙළඹවීමක් සිද්ධ වන්නට ඉඩ නැද්ද?

ඒ වගේ ම සහෝදර දෙමළ හින්දු ජනතාවගෙන් ඉල්ලා සිටිනවා සුමන්තිරන්ලා අටවන මර උගුල්වලට හසු වෙන්න එපා කියලා. මේ කාලන්නි යුද්ධය නිසා දෙමළ සමාජය කඩාගෙන වැටුණා. අපි ඔවුන් සමග ඉතා හොඳ සම්බන්ධතාවක් ගොඩනඟා ගනිමින් ඉන්න අවස්ථාවක සුමන්තිරන් වැනි අවස්ථාවාදී දේශපාලකයන් නිසා තවමත් අවි අත දැරීමට බලාපොරොත්තුවෙන් සිටින අඳුරු සෙවණැලිවලට උත්තේජනයක් ලැබෙනවා. ඒ නිසා ඔහුට වහා නීතිය ක‍්‍රියාත්මක කරන්නැයි ඉල්ලනවා. ආණ්ඩුවේ ඉදිරි කටයුතු පිළිබඳව අප විමසිල්ලෙන් බලා සිටිනවා.”

කෙසේ වුවද මෙවර පසුගිය වසර හතරේ මෙන් කිසිදු ප්‍රසිද්ධ මහවිරු උත්සවයක් උතුරේ නොපැවති අතර සුමන්දිරන් ද නිවසක පෞද්ගලිකව මහවිරු සැමරුම කිරීමට තරම් පරිස්සම් වී තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස