තෛපොංගල් දිනට පෙර පොරොන්දු ඉටු කළොත් ජනපතිට පූර්ණ සහාය දෙනවා…! – ආර්. සම්බන්ධන්…

January 12, 2024 at 11:31 am | by emanisa.lk

මේ වසරේ එළඹෙන තෛපොංගල් දිනයට හෝ පෙර ජනාධිපතිවරයා උතුරු නැගෙනහිර දෙමළ ජනතාව වෙනුවෙන් ඉටු කරන බවට වූ පොරොන්දු ඉටු කරන්නේ නම් කිසිම ප්‍රශ්නයකින් තොරව දෙමළ පක්ෂ සියල්ලම ජනාධිපතිවරයාටත් මේ රජයටත් පූර්ණ සහය ලබා දෙන බව දෙමළ ජාතික සන්ධානය පවසයි.

එහි නායක ආර්. සම්බන්ධන් 10 වැනිදා මාධ්‍ය වෙත පවසා ඇත්තේ මේ රටේ අතීත කාලයේ සිටම සෑම පාලකයකුම දෙමළ ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීමට තෛපොගල් දිනය හා සිංහල හින්දු අලුත් අවුරුද්ද තෝරා ගත් නමුත් ඒ කිසිදු වසරක දෙමළ ජනයාට ලැබුණු දෙයක් නොමැති බවයි.

නමුත් බලාපොරොත්තු දල්වා ගෙන දෙමළ ජනයාට ඉදිරියට යෑමට එවැනි ප්‍රකාශ ඉවහල් වූ බව පෙනෙන විට සෑම තෛපොංගල් දිනයක්ම, නව වසරක් ම ජනතවට ප්‍රීති ප්‍රමෝදය ගෙන දුන්නක් බව ද ඔහු සඳහන් කරයි.

වර්තමන ජනාධිපතිවරයා ඔහු ප්‍රකාශ කරන අන්දමටම වෙනත් ආකාරයකට කටයුතු කරන පුද්ගලයකු නිසා උතුරු නැගෙනහිර දෙමළ ජනතාවට මෙවර තෛපොංගල් සමයේදී බලාපොරොත්තු දල්වා ගත හැකි වැඩපිළිවෙළක් දියත් කරනු ඇතැයි තමන් විශ්වාස කරන බව ද සම්පන්ධන් මන්ත්‍රීවරයා කියා සිටියේය.

මේ රටේ උතුරු නැගෙනහිර ප්‍රශ්නය විසඳීමට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට විශාල වුවමනාවක් එදා සිට තිබුණු නමුත් ඔහු වටා සිටි අනෙක් පිරිස් එම ව්‍යායාමයට ඔහුට ඉඩක් සපයා නොදී කකුලෙන් ඇදීම නිසා දෙමළ ජනයාගේ බලාපොරොත්තු සුන් වූ බව ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

දකුණේ ජාතිවාදී දේශපාලනය තුළ දෙමළ ජනයාට යම් සහනයක් ලබා දීම ඉතා අසීරු කාරණයක් බව මේ වන විට සියලු දෙනාම වටහා ගෙන සිටින නමුත් මේ රටේ දෙමළ ජනයාට ද යමක් ලැබිය යුතු අයිතියක් ඇති බව ඒ සියලු දෙනම මේ තෛපොංගල් සමයේ ඉතා තදින් සිතා ගත යුතු බවද මාධ්‍යයට අදහස් දැක් වූ ආර්. සම්බන්ධන් වැඩි දුරටත් කියා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *