තිස් වසරක යුද්දේ වසර තුනෙන් අවසන් කළා..! ඒ වගේ ම දුන් පොරොන්දු වසර තුනෙන් ඉ⁣ටුකරනවා..! – ජනපති..

January 16, 2022 at 2:49 pm | by emanisa.lk

වසර 30ක යුද්ධය වසර 3කින් අවසන් කළ මෙන් තමා ලබාදුන් පොරොන්දු සියල්ල ඉදිරි වසර 3 තුළ ඉටුකරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අවධාරණය කරයි.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ මධ්‍යම අධිවේග මාර්ගයේ අලුතින් නිම කළ කොටස ජනතා අයිතියට පත්කිරීමේ උත්සවයට එක්වෙමිනි.

කොළඹ, නුවර යාකෙරෙන මධ්‍යම අධිවේග මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා කොටස ඊයේ (15)පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කෙරුණි.

කිලෝමීටර් 40.91කින් යුත් මධ්‍යම අධිවේග මාර්ගයේ දෙවන අදියර වන “ඇතුගල්පුර පිවිසුම” මීරිගම, නාකලගමුව, දම්බොක්ක, කුරුණෑගල හා යග්ගපිටිය යන අන්තර් හුවමාරු 05කින් සමන්විතය.

මෙහි ඉදිකිරීම් සඳහා රජය වැය කළ මුදල රුපියල් බිලියන 149කි. සියලු ඉදිකිරීම් දේශීය ඉංජිනේරුවන් සහ කොන්ත්‍රාත්කරුවන් විසින් සිදුකර තිබේ.

මීරිගම පිවිසුමේ දී සමරු ඵලකය නිරාවරණය කිරීම ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් මහා සංඝරත්නයේ සෙත්පිරිත් සඡ්ඣායනා මධ්‍යයේ සිදුවිය.

පසුව ජනාධිපති, අගමැති ඇතුළු මැතිඇමතිවරු එක්ව  මාර්ගය විවෘත කළහ.

ප්‍රධාන ජන හමුව සංවිධානය කර තිබුණේ කුරුණෑගල අන්තර් හුවමාරු පරිශ්‍රයේදීය.

එහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා සඳහන් කළේ, ගොවි පවුලකින් පැවත එන නායකයෙකු ලෙස සැමවිටම ගොවියා රැකගැනීමට ප්‍රමුඛතාවය ගෙන ක්‍රියා කරන බවය.

තමා බලයට පැමිණි අවස්ථාවේ පුරන් කුඹුරු අස්වැද්දූ තරුණයන් අමතක නොකරන බවත් ඔවුන්ට නැවතත් වගා සංග්‍රාමයකට එකතුවීමට ආරාධනා කරන බවත් ජනාධිපතිවරයා පැවසීය.

රුපියල් 95කට හෝ වී මිලදීගෙන ගොවියා ශක්තිමත් කිරීමට තමා කෘෂිකර්ම අමාත්‍යවරයාට උපදෙස් ලබාදුන් බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

“බාධක මැද්දේ තමයි මේ මාර්ගය අවසන් කළේ. මේක හදලා ඉවර වුණාම කුරුණෑගල සිට මත්තල දක්වා යන්න පුළුවන්.”

“මම අවුරුදු 5ක් තුළ කරනවා කියපු ඒ වැඩ සියල්ලම ලබන අවුරුදු 3 තුළ කරනවා කරනවාමයි.”

“මගේ ඇමති මණ්ඩලය, අපිත් එක්ක ඉන්න මන්ත්‍රීවරුන්ගෙන්, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ගෙන් මං ඉල්ලා සිටිනවා බොරු ප්‍රචාරවලට අධෛර්යමත් වෙන්නේ නැතුව අපි ජනතාවට පොරොන්දු වූ වැඩ කොටස මේ අවුරුදු තුනේ කරමු කියලා.”

“අපි අවුරුදු 3කින් තමයි අවුරුදු 30ක යුද්ධය අවසාන කළේ. එහෙමනම් මේ ඉතිරි අවුරුදු තුනේදී අපි පොරොන්දුවෙන වැඩ කොටස කරන්න පුළුවන්.”

“හැබැයි මාත් එක්ක එකතු වෙන්න. මං ගැන විශ්වාසය තියන්න. අපිට මේක කරන්න පුළුවන්.”

“මාධ්‍යවලට කියන්නේ අපිත් එක්ක ගහගැනීමක් නෑ මෙතන. අපේ බලාපොරොත්තුව මේ රට හදන එක. මාධ්‍යවේදීන්ගෙන් මං ඉල්ලා සිටිනවා.. ඔබ මේ සංවර්ධනයේ පාර්ශ්වකරුවෙක් වෙන්න.”

“අපි කවදාවත් ගොවියා අමතක කරන්නේ නෑ..නෑ.නෑ.. මම නැවතත් තරුණයන්ගෙන් ඉල්ලා සිටිනවා පුරන් කුඹුරු වගාකරන්න මගෙත් එක්ක එකතු වෙන්න කියලා.”

“ඔබලා එදා යම්කිසි දෙයක් බලාපොරොත්තුවෙන් මට ඡන්දය දුන්නා නම් ඒ බලාපොරොත්තුව ඒ අයුරින්ම ඉටුකරලා දෙනවයි කියන පොරොන්දුව මත මට සහාය වෙන්න.”

මේ අතර වර්තමානයේ ලෝකය, සමාජය, ඉතා වේගවත් බවත් එබැවින් කාලයෙන් ප්‍රයෝජන ගැනීමට දියුණු ප්‍රවාහන පද්ධතියක් අත්‍යවශ්‍ය බවත් ලෝකයේ දියුණු යැයි සම්මත රාජ්‍යයන්වල දියුණුවේ ප්‍රධාන සාධකයක් බවට විධිමත් ප්‍රවාහන පද්ධතිය පත්ව ඇති බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේය.

“අධිවේගී මාර්ග තරම් විවේචනයට ලක්වූ  ව්‍යාපෘතියක් මේ රටේ නැතුව ඇති. විවේචනය කරමින් අධිවේගී මාර්ගයේ ගමන් කරන අයගේ විවේචනයන්ට වචනවලින් පිළිතුරු දීමට වඩා අවශ්‍ය වන්නේ ක්‍රියාවෙන් පිළිතුරු දීම.” යැයිද මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

මධ්‍යම අධිවේග මාර්ගය විවෘත කිරීම නිමිත්තෙන් පැවති පාපැදි ධාවන තරගයේ ජයග්‍රාහකයින්ට ත්‍යාග සහ සහතික පත් පිරිනැමීම ජනාධිපතිවරයා සහ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ අතින් සිදු කෙරුණි.

කොළඹ – නුවර අධිවේග මාර්ගය අදියර තුනක් යටතේ සංවර්ධනය කෙරෙයි.

පළමු අදියර කඩවත සිට මීරිගම දක්වා කිලෝමීටර් 37.9කින් සහ තුන්වන අදියර වන පොතුහැර සිට ගලගෙදර දක්වා කිලෝමීටර් 32.5කින් සමන්විත ය.

කොළඹ සිට ගලගෙදර දක්වා වූ සමස්ත මාර්ගයේ ඉදිකිරීම් 2024 දී අවසන් කිරීමට රජය අපේක්ෂා කරයි.

ගංවතුරින් වන හානිය මගහරවා ගැනීමට මීරිගම සිට කුරුණෑගල දක්වා කොටසින් කිලෝමීටර් 10කට ආසන්න ප්‍රමාණයක් (25%) කණු මතින් ඉදිකර තිබේ.
රථවාහන ධාවනයේ දී ඇතිවන ශබ්දය පාලනයට ද බාධක යොදා තිබීම විශේෂත්වයකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස