තානාපතිලා කියන සියල්ල සත්‍ය නෙවෙයි! යුද සමයෙත් තානාපතිලා රට ගැන බොරු කීවා! MCC ගැන ඇමරිකානු තානාපති කියන කතාත් එහෙමයි! – කෙහෙළිය

July 2, 2020 at 8:17 am | by emanisa.lk

යම් රටක තානාපතිවරයෙක් හෝ තනාපතිනියක් පවසන සියලුම දේම සත්‍යය නොවන බවත් යුද සමයේ මෙරට සම්බන්ධයෙන් එවැනි අසත්‍ය ප්‍රකාශ කළ තානාපතිවරුන් සිටි බවත් ශ්‍රී ලංකා නිදහස් පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් අපේක්ෂක කෙහෙලිය රඹුක්වැල්ල පවසයි.

එම්.සී.සී ගිවිසුම ක්‍රියාත්මක කිරීමට පසුගිය යහපාලන ආණ්ඩු සමයේ මුදල් ලබාදී තිබෙන බවට කොමිෂන් වාර්තාවෙන් කර තිබෙන හෙළිදරව්ව සම්බන්ධයෙන් ඇමරිකානු තානාපතිනිය පැවසූ දේ සම්බන්ධයෙන්ද කිව යුතුව තිබෙන්නේ මෙය බවද ඔහු කීය.

මෙවර මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කරමින් ශ්‍රී දළදා සමිඳුන් වැඳපුදා ගැනීමට ගිය හිටපු ඇමතිවරයා අස්ගිරි මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරත්න මහනාහිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගැනීමෙන් පසු ඊයේ (01) මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මේ බව පැවසුවේය.

මහින්ද රාජපක්ෂ ජනපති සමයේ එම්.සී.සී ගිවිසුමට එළඹ තිබෙන බවට ඇතැම් පිරිස් චෝදනා කරන බවත් එදා පිටු අටකින් සමන්විතවූ ගිවිසුම යහපාලන ආණ්ඩු සමයේ පිටු අසූවක් දක්වා වැඩිවූ බවත් කී හෙතෙම රටට අහිතකර වගන්ති ඇතුළත් වූයේ එම කාලයේදී බවද අවධාරණය කළේය.

විපක්ෂය දෙකට බෙදී එකිනෙකාට චෝදනා කරමින් සිටින බවත් ඔවුන් දැන් පරාජය පිළිගෙන තිබෙන බවත් කී හිටපු ඇමැතිවරයා ආණ්ඩුවට දැන් වෙහෙසෙන්නේ ජයග්‍රහණය කිරීමට නොව තුනෙන් දෙකක විජයග්‍රහණයක් ලබා ගැනීමට බවද පැවසුවේය.

ජනතාවට ලී ක්වාන් යූ වැනි නායකයෙකු ලැබී තිබෙන බවත් මහින්ද රාජපක්ෂ ජන හදවත් හඳුනන නායකයෙකු බවත් කී ඔහු මෙම සුසංයෝගයට රට දියුණුව කරා මෙහෙයවිය හැකි බවද අවධාරණය කළේය.

මෙවර මැතිවරණ ව්‍යාපාරය පෝස්ටර්, කටවුට්, බැනර් හා පොලිතීන්වලින් තොරව පරිසර හිතාකාමී ලෙස ගෙනයන බවද හෙතෙම කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස