කලකට පසු ජවිපෙන් විමල්ට කොළ එළියක්…! විමල්ගේ යෝජනාවටත් අනුර පක්ෂ වෙයි..!

September 29, 2022 at 4:22 pm | by emanisa.lk

ආණ්ඩු පක්ෂයේ සිට විපක්ෂයේ අසුන්ගත් මන්ත්‍රීවරුන් සඳහා වෙනම කාලයක් වෙන් කිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද (29) තීරණය කළේය.

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද පෙරවරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස් වූ අවස්ථාවේදී ආණ්ඩු පක්ෂයේ සිට විපක්ෂයේ අසුන් ගත් මන්ත්‍රීවරුන්ට සිය අදහස් පළ කිරීමට කිසියම් කාලයක් වෙන් කර දෙන ලෙසට හිටපු අමාත්‍ය විමල් වීරවංශ විසින් මෙම කාරක සභාවට යෝජනා කර තිබේ.

එම යෝජනාවට අනුව ආණ්ඩු පක්ෂයට වෙන් වන කාලයෙන් සියයට 5ක්(5%) ලබා දීමට කාරක සභාව එකඟත්වය පළ කර තිබේ. මෙහිදී ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රීවරයාගේ යෝජනාවක් අනුව පාර්ලිමේන්තුව රැස්වන කාලය පැය භාගයකින් දීර්ඝ කර එම කාලයෙන් සියයට 50ක්(50%) ද විපක්ෂයේ අසුන්ගත් මන්ත්‍රීවරුන්ට ලබා දීමට ද තීරණය වී තිබේ. ඊට අමතරව සුදුසු පරිදි විපක්ෂයට හිමි කාලයෙන් ද යම් කාලයක් මෙම මන්ත්‍රීවරුන් සඳහා වෙන් වෙනු ඇත.

ආණ්ඩු පක්ෂයේ සිට විපක්ෂයේ අසුන් ගෙන සිටින “උත්තර ලංකා සභාගය” නියෝජනය කරන මන්ත්‍රී කණ්ඩායමට, ඩලස් අලහප්පෙරුම ඇතුළු මන්ත්‍රී කණ්ඩායමට මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්‍රී කණ්ඩායමට ද පාර්ලිමේන්තුවේදී කතා කිරීමට නියමිත කාලයක් මීට පෙර වෙන්ව නොතිබිණි. මේ පිළිබඳව බොහෝ වාදවිවාද ඇති විය. නමුත් මින් ඉදිරියට එවැනි ගැටළුවක් මතු නොවන අතර නියමිත කාලයක් ද ඔවුන් සඳහා වෙන් වෙනු ඇත.

අද පැවැති කාරක සභාවේදී ද විමල් වීරවංශ මන්ත්‍රීවරයාගේ යෝජනාව පිළිබඳ වාද විවාද මතු වී ඇත. ආණ්ඩු පක්ෂයෙන් කාලයක් වෙන් කිරීමෙන් ඔවුන්ට හිමි කාලය අඩුවන බව මෙහිදී ආණ්ඩු පක්ෂයෙන් මතු කර ඇත. මේ අතර ජනතා විමුක්ති පෙරමුණේ අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා විමල් වීරවංශ හිටපු අමාත්‍යවරයා ගෙන ආ යෝජනාවට පක්ෂව කරුණු දක්වා තිබේ. මීට පෙරත් මෙවැනි අවස්ථා පාර්ලිමේන්තුවේදී මතු වී තිබෙන බවත් එවැනි අවස්ථාවලදී පාර්ලිමේන්තුව එම මන්ත්‍රීවරුන්ගේ අදහස් පළ කිරීම සඳහා කාලය වෙන් කර තිබෙන බවත් අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා සිය අදහස් දක්වමින් ප්‍රකාශ කර තිබේ.

විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ මෙම ගැටළුව ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා විසින් නිරාකරණය කළ බව ඇතැම් මාධ්‍ය විසින් වාර්තා කෙරෙමින් තිබෙන නමුත් එම කණ්ඩායම නියෝජනය කරන කිසිදු මන්ත්‍රීවරයකු කාරක සභාවට අද දින සහභාගී වී නොතිබීම ද විශේෂත්වයකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *