ජනාධිපතිවරණයේදී අපේ සහාය වතුකරයේ අපට ඡන්ද අයිතිය ලබා දුන් ප්‍රේමදාස පරපුරේ උරුමක්කාරයාටයි! – වී. රාධක්‍රිෂ්ණන්

June 25, 2019 at 8:21 am | by emanisa.lk

මෙවර ජනාධිපතිවරණයේදී වතුකරයේ ද්‍රවිඩ ජනතාවගේ සහාය හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ උරුමකරුවෙක් ඉල්ලනු ලබන්නේනම් ඔහුට ලබා දෙන බව ඇමති වී. රාධාක්‍රිෂ්ණන් පැවැසීය.

තලවකැලේ, ලිඳුල ප්‍රදේශයේදී මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින් අද (23) හෙතෙම මෙසේ පැවසීය.

එහිදී තවදුරටත් අදහස් දක්වමින් ඇමතිවරයා මෙසේ පැවසීය.

“අපි දැන් ඊළඟ ජනාධිපතිවරණය ගැන සිතන්න ඕනැ කාලේ ඇවිල්ලා තියෙන්නේ. වර්තමාන ජනාධිපතිතුමා ඉදිරි ජනාධිපතිවරණයේදී ආයේ ඉල්ලන්නේ නැහැ කියලා අපිට දැන ගන්න ලැබුණා. අපි කඳුකරයේ ඉන්න ජනතාව විදිහට කඳුකරයේ ජනතාවට වැඩ කරන්න පුළුවන් ජනාධිපති කෙනෙක් පත්කර ගන්න ඕනෑ.

එක් දහස් නවසිය අසු ගණන්වලදී හිටිය රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා වතුකරයේ ජනතාව ගැන හිතලා යම් කිසි වැඩක් කළා. ඒක අපි අගය කළ යුතුයි. එතුමා 1989 වතුකරයේ ජනතාවට පුරවැසිභාවය දුන්නා. අද අපි ඡන්දය දාන්නේ එක නිසයි.

ඒක නිසා වතුකරයේ ජනතාව එතුමා ඉතිහාසයේ කරන ලද වැඩ අමතක කරන්න හොද නැහැ. ඒක නිසා එතුමාගේ උරුමක්කරුවෙකු ඉල්ලනවානම් අපි වතුකරයේ ජනතාව එතුමාට සහයෝගය දෙන්න ඉදිරි මැතිවරණයේදී බලාපොරොත්තු වෙනවා.

වතුකරයේ ජනතාවට පමණක් නෙවෙයි රණසිංහ ප්‍රේමදාස හිටපු ජනාධිපතිවරයා ලංකාවේ සියලුම ජනතාවට උදවු කළා. විවිධ වැඩ කොටස් රැසක් සිදු කළා. ගෙවල් හදලා දුන්නා. විසිපන් දහසක් ගුරුවරු පත් කළා. පාසල් ළමුන්ට දිවා ආහාරය මෙන්ම නිල ඇඳුම් ලබා දුන්නා. ඒ වගේ විශාල වැඩ කොටසක් කරලා තිබුණා. එතුමා වගේ ජනාධිපති කෙනෙක් ආයේ මේ රටේ පත් වෙනවා නම් ඒ වගේ අයෙකුට සහයෝගය දෙන්න වතුකරයේ ජනතාව සුදානම් බව අපි කියන්න කැමැතියි.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස