කෘෂිකර්ම අමාත්‍යාංශය රසායනාගාර වාර්තා 51ක් වෙනස් කර ප්‍රමිතියෙන් තොර පොහොර මෙට්‍රික් ටොන් 81,000ක් ගොවීන් අතර බෙදා දී ඇති බව 2020 විගණකාධිපති වාර්තාව මඟින් පෙන්වා දී තිබෙන බවත් අද කාබනික පොහොරවලට වැඩපිළිවෙළ විවේචනය කරන උදවිය එදා මේවා ගැන කිසිවක් කතා නොකළ බවත් කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ පවසයි.
ලියාපදිංචිය හෝ කිසිදු පරීක්ෂාවකට ලක් නොකළ කෘමි නාශක හා වල් නාශක පසුගිය කාලයේ ගොවි ජනතාවට බෙදා දී තිබෙන බව ද ඒ මහතා කීය.
මහනුවර ගන්නෝරුවේදී පසුගියදා පැවැති රැස්වීමකට සහභාගි වෙමින් ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කර සිටියේය.
“වසර 56ක් රසායනික පොහොර යොදා කෘෂිකර්මාන්තය කළ ගොවියා එක රැයකින් කාබනික කෘෂිකර්මාන්තයට යොමු කිරීම අභියෝගයක්. ඒක අපහසුයි. ජනාධිපතිතුමා මේ සඳහා අපිට මාස 06ක කාලයක් දුන්නා. ජනපති ධුරයට පත්වූ විගස එතුමා කෘෂිකර්ම අමාත්‍යාංශයේ සියලු නිලධාරීන් ගෙන්නලා තව වසරකින් කාබනික කෘෂිකර්මාන්තයට යන්න සූදානම් වෙන්න කියලා දැනුම් දුන්නා. එවකට සිටි කෘෂිකර්ම ඇමැතිවරයාත් මේක දන්නවා.
මූලික පියවර ලෙස ජනාධිපතිතුමා 2020දී රුපියල් බිලියන 1 1/2ක් දුන්නා, අපේ රටේ ගොවීන්ගෙන් 30%ක් සම්පූර්ණයෙන් කාබනික වගාවට යොමු කරන්න කියලා. ඒ අනුව ඉතිරි 70%ක පිරිස රසායනික පොහොර භාවිතයෙන් කෘෂිකර්මාන්තයේ නිරත කරවීම තමයි ජනාධිපතිවරයාගේ අදහස වුණේ. මේක ඇත්තට ම අත්හදා බැලීමක් විදිහට කරන්න තමයි එතුමා අපේක්ෂා කළේ.
නමුත් අපේ අය කළේ ගොවිබිමට 70%ක් රසායනික පොහොරත් 30%ක කාබනික පොහොරත් දීමයි. නමුත් අපි වැඩේ අනා ගත්තා. ජනාධිපතිතුමා කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් බලාපොරොත්තු වුණේ මේක නෙවෙයි.”
කාබනික කෘෂිකර්මාන්තයට රට මුළුමනින්ම යොමු කරන්න එතුමා තීරණය කළේ පසුගිය අප්‍රේල් මාසයේදීයි. ජනාධිපතිතුමාට අවශ්‍ය වස විසෙන් තොර ආහාර වේලක් ජනතාවට ලබා දීමටයි. මේක අභියෝගයක්. නමුත් මේක අපිට කරන්න පුළුවන්. උතුරු නැඟෙනහිර ගොවීන් 95%ක් වගා කටයුතු ආරම්භ කරලා.”