ජනසෙත සදන නව නීති බලාත්මක කරමින් පැරණි චක්‍රලේඛවලින් පැවරූ නඩු ඉවත් කර ගන්න…! – ජනපති…

January 30, 2021 at 10:02 pm | by emanisa.lk

පාරම්පරිකව කෘෂිකර්මාන්තය සඳහා උපයෝගී කර ගත් ඉඩම්වල අඛණ්ඩව වගා කිරීමට ගොවීන්ට අවස්ථාව සලසන නව නීති රීති ක්‍රියාත්මක කිරීමත් සමග පැරණි චක්‍රලේඛ යටතේ පවරා ඇති නඩු ඉල්ලා අස් කර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නිලධාරීන්ට උපදෙස් දෙයි.

“ගම සමග පිළිසඳර” වැඩසටහනේ දී ජනතාවගෙන් නිරන්තරයෙන් ලද ඉල්ලීම සැලකිල්ලට ගනිමින් වනජීවි, වන සංරක්ෂණ, පරිසර, ඉඩම් ඇතුළු සියලු දෙපාර්තමේන්තු හා ආයතනවලට ජනතා යහපතට ඉවහල්වන අයුරින් නව නීති සැකසීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිතුමා උපදෙස් දී තිබේ. පවතින ගැටළු නිරාකරණය කරමින් නව නීති කඩිනමින් සැකසේ.

වසර ගණනාවක් තිස්සේ රාජ්‍ය ආයතන සමග නඩු කියමින් පීඩාවට පත්ව සිටින ජනතාවට සහන සලසනු පිණිස මේ තීරණයට එළැඹිණ. ගැටළු නිරාකරණය කොට අවසන් වරට සැකසූ ඔප්පු 17,000කට තමා ඊයේ වන විට අත්සන් තබා ඇතැයි රාජපක්ෂ පවසයි.

අද (30) පෙරවරුවේ මොණරාගල දිස්ත්‍රික්කයේ තණමල්විල, අලුත්වැව ග්‍රාම නිලධාරී කොට්ඨාසයේ, කුකුල්කටුව වැව ඉස්මත්තේ පැවති “ගම සමග පිළිසඳර” අට වැනි වැඩසටහනට සහභාගීවෙමින් ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේය.

අලුත්වැව සහ අවට ගම්මානවල පානීය ජල අවශ්‍යතාව සහ එය කඩිනමින් විසඳීමට ගත යුතු ක්‍රියාමාර්ග දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් විය. 1952 වසරේ දී යෝජනා කරන ලදුව මෙතෙක් ක්‍රියාත්මක කර නැති කුඹුක්කන් ඔය ව්‍යාපෘතියේ සැලසුම් වහා අවසන් කර මේ වසරේම වැඩ ආරම්භ කොට කඩිනම් ව්‍යාපෘතියක් ලෙස සම්පූර්ණ කරන්නැයි ජනාධිපතිතුමා ජල සම්පාදන අමාත්‍යාංශයට නියෝග කළේය.

ජනතාවගේ පානීය ජල අවශ්‍යතා සම්පාදනය කරනු පිණිස වෙහෙරගල වැව ව්‍යාපෘතිය සහ සෙවනගල පිරිපහදුව විධිමත්ව ක්‍රියාවට නැංවීමට තීරණය කෙරිණ. ප්‍රදේශයේ ස්වභාවික ජල මූලාශ්‍ර නිසි පරිදි හඳුනාගෙන පානීය ජල අවශ්‍යතා සපුරාලීමේ කඩිනම් අවශ්‍යතාව ජනාධිපතිතුමා අවධාරණය කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස