ඡන්දේ තියන්නේ නැත්නම් ඇප මුදල දෙන්න…! පඩියත් නැතිව ජීවත් වෙන්න විදිහක් නෑ…! – මැතිවරණ අපේක්ෂකයෝ…

February 21, 2023 at 1:22 pm | by emanisa.lk

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව අපේක්ෂකයන් තැන්පත් කළ ඇප මුදල් යළි එම අපේක්ෂකයන්ට ලබා දිය යුතු බව මෙවර මැතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයන් පිරිසක් කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වමින් ඊයේ (20) පැවසූහ.

මෙවර ඡන්ද විමසීමට ඉදිරිපත්වූ දේශපාලන පක්ෂයක් නියෝජනය කරන අපේක්ෂකයෙකු රුපියල් 1,500 බැගින් හා ස්වාධීන කණ්ඩායමක් නියෝජනය කරන අපේක්ෂකයෙකු රුපියල් 5,000 බැගින් අපේක්ෂකයන් 88,000 දෙනෙකු ඇප මුදල් තැන්පත් කළ බව ද ඔවුහු පෙන්වා දෙති.

පළාත් පාලන ඡන්ද විමසීම නොපවත්වන්නේ නම් මැතිවරණ කොමිෂන් සභාව මෙම මුදල් වංචා කර ඇතැයි යන ස්ථාවරයේ බොහෝ අපේක්ෂකයන් සිටින බව මෙහි දී අදහස් දැක්වූ කඩුවෙල මහා නගර සභාවට තරග කරන බෝසෙත් කලහෙපතිරණ පැවසීය.

දිවයියේ සියලු අපේක්ෂකයන් නියෝජනය කරමින් තමන් ඇතුළු අපේක්ෂකයන් පිරිසක් එළැඹෙන 23දාට පසු මැතිවරණ කොමිෂන් සභාවට ගොස් මෙම කරුණ විමසීමටත්, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිලි කිරීමටත් සැලසුම් කර ඇතැයි ද හෙතෙම සඳහන් කළේ ය.

ඇප මුදල්වලට අමතරව මැතිවරණයට අදාළ ලිපිලේඛන ලබා ගැනීමට ද මුදල් ගෙවීමට සිදු වූ බව පැවසූ බෝසෙත් කලහෙපතිරණ ඡන්ද හිමි නාමලේඛනය සහ තැපැල් ඡන්ද හිමි නාමලේඛනය ලබා ගැනීමට රුපියල් 1,500 බැගින් වැය කිරීමට සිදුවූ බව ප්‍රකාශ කළේ ය.

මෙවර මැතිවරණයට ඉදිරිපත්වූ තමා ඇතුළු රාජ්‍ය සේවකයන්ගේ වැටුප අත්හිටුවා තිබෙන බැවින් ආදායම් මාර්ග ඇනහිට ඔවුන් ගැටලුවකට මුහුණ දී සිටින බව ද ඔහු කීවේ ය. ඒ අනුව මෙම සියලු කරුණු මැතිවරණ කොමිෂන් සභාවට පෙන්වා දීමට පියවර ගන්නා බව ද හෙතෙම සඳහන් කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *