චැනල් 4 කියන්නේ සහතික ඇත්ත..! සුරේෂ් සාලේ තනතුරින් නෙරපනු..! සාලෙට පිල්ලෙයාන්ට නීතිය ක්‍රියාත්මක කරනු..! – විජිත හේරත්…

September 8, 2023 at 10:11 am | by emanisa.lk

රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේට හා පිල්ලෙයාන්ට එරෙහිව වහා ම නීතිය ක්‍රියාත්මක කළ යුතු බවට ආරක්ෂක අමාත්‍ය, ජනාධිපති, රනිල් වික්‍රමසිංහට අවධාරණය කරන බව ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් පවසයි.

සුරේෂ් සලේ රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියා ලෙස තබාගෙන පරීක්ෂණ නිවැරදි ඉලක්කයට ගෙනයන්න නොහැකි බව ද ඔහු ප්‍රකාශ කරයි.

“චැනල් ෆෝ නාළිකාවෙන් මවුලානා හෙළි කරන තොරතුරු අනුව නැඟෙනහිර පළාතේ හිටපු මහ ඇමති පිල්ලෙයාන් සහ දැනට රාජ්‍ය බුද්ධි ඒකකයේ ප්‍රධානියා වන සුරේෂ් සලේ මේ කණ්ඩායමත් සමග ඍජුව ගනුදෙනු කළ බව පැහැදිලියි. මේ වාර්තාව නිකුත් කරන බව ප්‍රචාරය කළ සැණින් ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු 5දා පාර්ලිමේන්තුවේදී මවුලානා පිළිබඳ විවිධ චෝදනා ඉදිරිපත් කළා.

ඒත් මේ මවුලානා ගෝඨාභය රාජපක්ෂ, පිල්ලෙයාන්, එක්ක සිටින ඡායාරූප හමු වී තිබෙනවා. පිල්ලෙයාන් එක්ක තිබූ සම්බන්ධය ඔහුම හෙළි කර තිබෙනවා. පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ නිවැරදි එල්ලයකට ක්‍රියාත්මක නොකළ නිසා සැබෑ චූදිතයන් තවමත් සැඟවී සිටිනවා. ඒත් මේ තොරතුරුවලින් මහ මොළකරුවා සහ ඔවුන්ගේ වුවමනාවන් ඉතා හොඳින් පැහැදිලි වෙනවා.

මැල්කම් රංජිත් කාදිනල්තුමා අවස්ථා කිහිපයකදී ම විවිධ තොරතුරු අනාවරණය කරමින් පරීක්ෂණ කළයුතු පුද්ගලයන් සහ ඉලක්කය පිළිබඳව ප්‍රකාශ කර තිබුණා. ඒත් අද වනතුරුත් එය කළේ නෑ. සහරාන් කණ්ඩායමේ තිබුණු අන්තවාදී අදහස් පාවිච්චි කරල ඔවුන් හරහා ප්‍රහාරය දියත් කළ බව වාර්තා වැඩසටහනෙන් ඉතා හොඳින් පැහැදිලි වෙනවා.

රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේට ඍජුවම ඇඟිල්ල දිගුකොට තිබෙනවා. ඔහු එම තනතුරට පත් කරන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධූරයට පත්වුණු විගසින්මයි. සුරේෂ් සලේ මේ සම්බන්ධයෙන් චූදිතයකු වී සිටි බව මුල සිට ම කියැවුණත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධූරයට පත්වුණු වහා ම ඔහුව රාජ්‍ය බුද්ධි අංශයේ ප්‍රධානියා බවට පත් කරනවා. මේ සිදුවීම් දෙක අතර අන්තර් සම්බන්ධයක් තිබෙන බව ජනතාවට ඉතා පැහැදිලියි.

පාස්කු ප්‍රහාරය කරන අවස්ථාවේ රනිල් වික්‍රමසිංහ රටේ අගමැති වගේ ම ඔහුගේ හොඳ ම ගෝලයා වන රුවන් විජේවර්ධන ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා වී සිටියා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන රටෙන් බැහැරව සිටියේ. මේ නිසා රනිල් වික්‍රමසිංහ සහ රුවන් විජේවර්ධන දෙදෙනාම රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රධානීන් ලෙස සිටියා. ඔවුන්ට මේ චෝදනාවලින් ගැලවෙන්න බැහැ. ජනාධිපති මුක්තිය නිසා අද ඔහු ඒ චෝදනාවලින් ඉවත් වී සිටිනවා.

පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීමේ චෝදනාවට එදා හිටපු පාලකයන් මුළුමනින් ම වගකිව යුතුයි. එම ප්‍රහාරය දියත් කිරීමේ චෝදනාව සහරාන් ඇතුළු අන්තවාදීන්ට එල්ල වෙනවා. මේ නිසා ගරු ශ්‍රේෂ්ඨාධිකරණය ඉතා පැහැදිලිව තීන්දු කර තිබෙනවා. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, රාජ්‍ය බුද්ධි අංශයේ ප්‍රධානී- නිලන්ත ජයවර්ධන සහ එවකට සිටි පොලිස්පති ඇතුළු පිරිසකගෙන් වින්දිතයන්ට වන්දි ගෙවන ලෙස නියෝග කළා. මේ වගකිවයුත්තන්ට වන්දි ගෙවන ලෙස නියෝග කළත්, ඔවුන්ට එරෙහිව අපරාධ නඩුවක් මේ දක්වා ගොනු කර නෑ.

ගෝඨාභය රාජපක්ෂ දැන් ජනාධිපති ධූරයේ නෑ. ඒ නිසා ඔහුට මුක්තිය නෑ. ආරක්ෂක ඇමතිවරයාට ඕනෑ ම වෙලාවක දැන් පුළුවන් ගෝඨාභය රාජපක්ෂට එරෙහිව තිබුණු චෝදනා සියල්ල නැවත විභාගයට ගැනීමේ ක්‍රියාමාර්ග සලසන්න. රනිල් වික්‍රමසිංහගේ වගකීම ඒ නඩු කටයුතු වහා ම ක්‍රියාත්මක කරන්න අවශ්‍ය උපදෙස් දීමයි. චෝදනා තිබෙන සුරේෂ් සලේ තාමත් රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියා. ඔහු එම තනතුරේ තබාගෙන පරීක්ෂණ කිරීමේ කිසිදු ප්‍රතිඵලයක් නෑ. ඒ නිසා රටේ ආරක්ෂක ඇමති රනිල් වික්‍රමසිංහට ජාතික ජන බලවේගයේ අපි බල කර කියන්නේ සුරේෂ් සලේව වහා ම තනතුරෙන් ඉවත් කරන්න කියලයි. ඒ වගේ ම ඔහුට සහ පිල්ලෙයාන්ට විරුද්ධව වහා ම අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වා නීතිය ක්‍රියාත්මක කළ යුතුයි.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස