ගෝඨාගෝගම ඉවත් කිරීම වළකන පෙත්සම ඉවතට..! ඉදිකිරීම් රාජකාරියට බාධාවක් බව උසාවියට කියයි..!

June 2, 2022 at 11:15 pm | by emanisa.lk

ගෝඨා ගෝ ගම’ අරගලකරුවන් එම ස්ථානයෙන් ඉවත් කිරීමට රජය පියවර ගැනීම වළකාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා එම අරගල භූමියේ සක්‍රීය අරගලකරුවකු වන සිවිල් ඉංජිනේරුවකු විසින් ගොනු කෙරුණූ මූලික අයිතිවාසකම් පෙත්සමක් විභාගයට ගැනීම ශ්‍රේෂ්ඨාධිකරණය අද (2) ප්‍රතික්ෂේප කළේය.

මෙම පෙත්සම බුවනෙක අලුවිහාරේ එල්. ටී. බී. දෙහිදෙණීය සහ ඒ. එච්. එම්. නවාස් යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලිණී.

සිවිල් ඉංජිනේරු මෙහොමඩ් හුස්ලි හමීන් මහතා විසින් ගොනුකරනු ලැබූ මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් වශයෙන් නම්කර සිටින්නේ නිතිපතිවරයා, පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න, හිටපු යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් සහ ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් කමල් ගුණරත්න යන මහත්වරුන්ය.

මෙම පෙත්සම ඊයේ (1) සළකා බැලූ අවස්ථාවේදී නිතිපතිවරයා වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණය පෙනී සිටි රජයේ නිතීඥ ෂමීන්ද්‍ර වික්‍රම මහතා ප්‍රකාශ කර සිටියේ ‘ගෝඨා ගෝ ගම’ අරගලයට මේ වන විට දින 50ක් ඉක්මවා ඇති බවත් එය සාමකාමීව සිදුවන උද්ඝෝෂණයක් වන බැවින් කිසිදු ආකාරයකට රාජ්‍ය බලය යොදා මර්දනය කර නොමැති බවත් ය.

නිදහස් අදහස් ප්‍රකාශ කිරීම සහ විරෝධතා පැවැත්වීමේ අයිතිය මූලික අයිතිවාසිකමක් ලෙස රජය පිළිගන්නා අතර, මෙම අරගල භූමියේ ඇති අට්ටාල සහ වෙනත් ඉදිකිරිම් හේතුවෙන් සාමාන්‍ය ජනතාවගේ ගමන් බිමන්වලට මෙන්ම ජනාධිපතිවරයා ඇතුළු ජනාධිපති ලේකම්කාර්යාලයේ කාර්යමණ්ඩලයට රාජකාරියට පැමිණීමේ අවහිරතා ඇති වන බව රජයේ නිතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේය.

දෙපාර්ශ්වයේ කරුණු සලකා බැලීමෙන් පසු මෙම පෙත්සම විභාගයට නොගෙන ඉවත දැමීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස