ගහකොළ සුරකින්න වැදගත් පියවරක්…! ගහක් කපන්න ගහක් සිටුවීම අනීවාර්යයි..!

March 21, 2022 at 8:35 am | by emanisa.lk

නව දැව බලපත්‍ර නිකුත් කිරීමේ දී ඊට සරිලන පැල රෝපණය කිරීමකින් පසුව අදාළ දැව බලපත්‍ර නිකුත් කළ යුතු බවට නව චක්‍රලේඛයක් නිකුත් කළ බව වාරිමාර්ග අමාත්‍ය සහ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය සහ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ පවසයි.

අමාත්‍යවරයා ඊට අදාළ උපදෙස් ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් එන්.එච්.එම් චිත්‍රානන්දට ලබා දුන්නේය.

ඒ අනුව සියලු දිස්ත්‍රික් ලේකම්වරුන්ට, ප්‍රාදේශීය ලේකම්වරුන්ට සහ ග්‍රාම නිලධාරීවරුන්ට ඊට අදාළ උපදෙස් ඇතුලත් චක්‍රලේඛනය නිකුත් කර ලෙස අමාත්‍ය චමල් රාජපක්ෂ උපදෙස් ලබා දීී තිබේ.

2022.03.31 වන දිනෙන් පසු නිකුත් කරනු ලබන සෑම දැව හෙලීම් බලපත්‍ර සඳහා ම මෙම නීතිය වලංගු වේ.

ඒ අනුව නව දැව හෙලීම් බලපත්‍ර නිකුත් කිරීමේ දී පහත කරුණු අනුගමනය කළ යුතුය.

දැව හෙලීම් බලපත්‍රය නිකුත් කරනු ලබන ශාක වර්ගයම රෝපණය කළ නොහැකි නම්, එම ශාකය මගින් මිහිමවට දායාද කළ ජෛවීය ගුණයන් හා ප්‍රමාණයන්ට සරිලන ප්‍රමාණාත්මක හා ගුණාත්මක සේවාවක් සලසන ශාක විශේෂයක් බලපත්‍ර ලාභියා විසින් සිටුවිය යුතුය.

දැව හෙලීම් බලපත්‍රය හිමි ඉඩමේ අයිතිකරුවන් විසින් පැල රෝපණය කළ යුතු අතර ව්‍යාපාරිකයෙකු වෙත බලපත්‍ර නිකුත් කරනු ලබන අවස්ථාවක දී, එම ව්‍යාපාරිකයා විසින් බලපත්‍රයට ගෙවනු ලබන මිලට අමතරව නව රෝපණයට සුදුසු ශාක විශේෂ අදාළ ඉඩම් හිමියා ලබාදී එම ශාකය රෝපණය කළ යුතුය.

ව්‍යාපාරික කටයුත්තක් නොවන අවස්ථාවක දී ඉඩම් හිමියා විසින් අදාළ ශාක විශේෂය තම වියදමින් සපයාගෙන බලපත්‍රය පරීක්ෂාවට පැමිණෙන දිනයේ දී ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරීන් ඒ පිළිබඳව දැනුම්වත් කර පැළ රෝපණය කළ යුතුය.

ශාක රෝපණය සඳහා තම ඉඩම තුළ ප්‍රමාණවත් හා සුදුසු ඉඩකඩ නොමැති අවස්ථාවක දී ග්‍රාම නිලධාරියා විසින් නියම කරනු ලබන ප්‍රදේශයේ පොදු ස්ථානයක අදාළ නව ශාක රෝපණය කළ යුතුය.

දැව හෙලීම් බලපත්‍රය තුළින් හෙළීම් සිදුකිරීම සඳහා අවසර ලබා දී ඇති ශාක ප්‍රමාණයට සාපේක්ෂව ඊට සරිලන පැළ ප්‍රමාණයක් සිටුවීම සඳහා අදාළ ඉඩම් හිමියන් හා ව්‍යාපාරිකයින් යොමු කළ යුතු අතර එය හෙළීම් සිදු කරන එක් ශාකයක් සඳහා අවම වශයෙන් එක් පැලයක් සිටුවිය යුතු අතර උපරිමය සීමාවක් නොමැත.

සිටුවනු ලබන පැළ පිළිබද විස්තර ඇතුළත් ලේඛනයක් ග්‍රාම නිලධාරී විසින් සහ ප්‍රාදේශීය ලේකම් විසින් වෙන වෙනම පවත්වා ගෙන යා යුතුය. තම වසම තුළ පැළ සිටුවනු ලබන සෑම අවස්ථාවකදීම ග්‍රාම නිලධාරී විසින් එම විස්තර තම සටහන් ලේඛනයේ ඇතුළත් කිරීමට වග බලා ගත යුතු අතර එහි පිටපතක් සමග දැව හෙළීම් ඉල්ලුම්පත්‍රය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත ලබාදිය යුතුයි.

ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් තම බල ප්‍රදේශය තුළ රෝපණය කළ පැල පිළිබඳව පවත්වාගෙන යන ලේඛනයට අනුව අදාළ පැළ නඩත්තු පිළිබඳ ස්වදේශ කටයුතු අමාත්‍යංශය යටතේ සිටින කාර්යාල ගත සංවර්ධන නිලධාරීන් මගින් මසකට වරක් පසුවිපරමක් සිදු කළ යුතු අතර එහි පසුවිපරම වාර්තාව මාස තුනකට වරක් ස්වදේශ කටයුතු අමාත්‍යාංශය වෙත යොමු කළ යුතුය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස