ගම්පහ මල්වාන සුපිරි මන්දිරය බැසිල්ගේ ද…? තිරුකුමාර් ඉඩම ගත්තේ බැසිල් වෙනුවෙන් ද….? තිරුකුමාර් සියලු රහස් හෙළිකරමින් රනිල්ට ලියූ ලිපිය මෙන්න….

October 6, 2021 at 1:21 pm | by emanisa.lk

2015 වසරේ පමණ බැසිල් රාජපක්ෂගේ නිවස බවට මහත් ප්‍රසිද්ධියක් ලද ගම්පහ මල්වානේ පිහිටි ඉඩම සහ නිවස පිළිබඳ සියලු තොරතුරු සහිතව නිරූපමා රාජපක්ෂගේ සැමියා වන තිරුකුමාර් නඩේසන් විසින් 2016 වසරේ එවක අගමැති රනිල් වික්‍රමසිංහ වෙත ලියන ලද ලිපියක සිංහල පරිවර්තනය පහත දැක්වෙයි.

2010 නොවැම්බර් මස මවිසින් මුදිත ජයකොඩි වෙනුවෙන් සේනාධීර පවුලට අයත් ගම්පහ ඉඩමක් රුපියල් මිලියන 30කට මිළට ගන්නා ලදුව, එය මාගේ බැංකුව විසින් නිකුත් කල චෙක් පතක් හරහා ගෙවා දැමුණි. මුද්දර ගාස්තු ද චෙක්පත් හරහාම ගෙවන ලදී. ඉඩමේ ඔප්පුව සහතික කරන ලද්දේ ගම්පහ ජ්‍යෙෂ්ඨ නීතිඥ හා නොතාරිස් නිහාල් රාජකරුණා මහතා විසිනි. අන් බොහෝ අවස්ථාවල පරිදිම, ඉඩම මිළ දී ගන්නා ලද්දේ ඉඩම් මිළ ඉහළ ගිය විට ලාභයක් සහිතව එය මුදිත ජයකොඩිට ම විකුණන අරමුණිනි. ඉඩම මිළට ගැනීම සඳහා මුදිත ජයකොඩි මහතාට ඒ අවස්ථාවේ ප්‍රමාණවත් මුදල් තිබුණේ නැත.

ඉඩම මිළට ගැනීම සඳහා වන යෝජනාව මාවෙත ගෙන ආවේ ද වෘත්තියෙන් ගෘහනිර්මාණ ශිල්පියකු වූ ජයකොඩි මහතා විසින්මය. ඔහු මාහට මුලින් ම හඳුන්වා දෙන්නේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි නැසීගිය අනුර බණ්ඩාරනායක මහතා විසිනි. මම නැසී ගිය අනුර බණ්ඩාරනායක මහතාගේ අන්තිම කැමැත්තෙහි සම-විධායකයෙකු ලෙස ද නම්කරණු ලැබුණි.

මා වෙනුවෙන් සමස්ත ගනුදෙනුවෙහි අතරමැදියා ලෙස කටයුතු කළේ ජයකොඩි මහතාය. ගෙවන ලද මුදල පවා ජයකොඩි මහතාට ලබාදුන් අතර ඔහු විසින් එය විකුණුම්කරුට ලබා දී තිබුණි. ඔප්පුව අත්සන් කරන අවස්ථාවේ මා නොසිටිය ද නොතාරිස් රාජකරුණා මහතාට කතාකොට ඔප්පුවේ වලංගුතාව විමසා තහවුරු කර ගැනුණි.
මිළට ගැනීමෙන් පසු ඉඩමේ හිමිකාරීත්වය හා ඉඩම බලාගැනීම සඳහා මම මුදිත ජයකොඩි මහතාට අවසර දුනිමි. හිමිකාරිත්වය ඔහුට ලබා දී තිබූ හෙයින් මම ඉඩමට නොගියෙමි.

2015 ජනාධිපතිවරණයෙන් පසුව, මාධ්‍යවල වාර්තා වූයේ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් අදාළ ඉඩමෙහි මන්දිරයක් ඉදිකර ඇති බවයි. එම වාර්තා පළවීමත් සමගම මම මුදිත ජයකොඩි දුරකථනයෙන් සම්බන්ධ කරගෙන අදාළ වාර්තාව ගැන ප්‍රශ්න කළෙමි. ඔහු මට ප්‍රකාශ කළේ, අදාළ දේපළ මිළට ගැනීම සඳහා ව්‍යාපාරිකයෙකු (මුස්ලිම් භක්තික) සිටින බවත්, එසේ මිළට ගන්නා තුරු ගොඩනැගිලි සෑදීම ආරම්භ කරන බවත්, එසේ කිරීමෙන් පසු අදාළ ව්‍යාපාරිකයා එය මිළට ගනු ඇති බවත්ය.

කෙසේ වෙතත්, මාගේ නමට හා කීර්තියට සිදුවන හානිය අවබෝධ කරගනිමින් මම මුදිත ජයකොඩි මහතාට වහා කියා සිටියේ ඉඩම මිළට ගන්නා ලෙසයි. ඒ අනුව, මා හා ඔහු අතර මිලකට එකඟතාව ඇති කරගත් අතර, නීලකාන්තන් සහ නීලකාන්තන් නීති සමාගමේ ප්‍රසිද්ධ නොතාරිස් ඒ. එච්. සුමතිපාල විසින් සහතික කළ අංක 223 දරන විකුණුම් හා මිළට ගැණුම් ගිවිසුමකට එළඹුනෙමු. ජයකොඩි මහතා විසින් නීලකාන්තන් මහතා පුද්ගලිකව දන්නා නිසා මම සහ ඔහු එම සමාගමේ සේවය ලබා ගැනීමට එකඟ වීමු.

එම ගිවිසුම තුළ ම විශේෂයෙන් ම සඳහන් කරන ලද්දේ, අදාළ ඉඩම භාවිත කිරීමට ජයකොඩි මහතාට අවසර ලබා දී තිබූ බවත් ඔහුගේ ම කැමැත්ත මත පළාත් පාලන අධිකාරියට ඉල්ලුම්පත් දැමීමෙන් පසු ඉදිකිරීම ආරම්භ කළ තිබූ බවත්ය. ජයකොඩි මහතා විසින් ඉඩම සඳහා රුපියල් මිලියන 40ක් මාගේ බැංකු ගිණුමෙහි තැන්පත් කළ අතර, නීලකාන්තන් නීති සමාගම විසින් රඳවා ගනු ලැබ සිට එය මාවෙත මුදාහැරීයේ ජයකොඩි මහතා ඊට අවසර ලබාදුන් පසුවයි. පොල් ඉඩම් කැබලි කිරීමේ මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීමෙන් අනතුරුව 2015 ජූනි 17 වැනි දින විකුණුම ක්‍රියාත්මක කරන ලද්දේ අංක 2217 දරණ පැවරීමේ ඔප්පුව නීතිඥ හා ප්‍රසිද්ධ නොතාරිස් කන්දයියා නීලකාන්තන් මහතා විසින් සහතික කිරීමෙන් පසුය.

උක්ත ඉඩම සතුව තිබුණේ හා ගොඩනැගිලි ඉදි කරන ලද්දේ ජයකොඩි මහතා විසින් වන අතර පළාත් පාලන ආයතනවලින් විවිධ අනුමැති හා ඒවාට ගෙවීම් කරන ලද්දේ ද ඒ මහතා විසිනි.

අදාළ ඔප්පු සහ ඒවාහි අංක මීට අමුණමි.
1, 2010/11/25 දින නොතාරිස් නිහාල් රාජකරුණා විසින් සහතික කළ අංක 23764 දරන ඔප්පුව
2, 2015/1/16 දින නොතාරිස් ඒ. එච්. සුමතිපාල විසින් සහතික කළ අංක 223 දරන ප්‍රකාශන ඔප්පුව
3, 2015/6/18 දින කන්දයියා නීලකාන්තන් විසින් සහතික කළ අංක 2217 දරන ඔප්පුව

පරිවර්තනය – මහින්ද පතිරණ

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස