වයස අවුරුදු 20ක තරුණයකුට වයස අවුරුදු 16 සිට අයුතු ලිංගික අවශ්‍යතා සඳහා පොළඹවා ගනිමින් ලිංගික අතවර කළැයි කියන කොළඹ ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ පාසලක ගුරුවරියක සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වා අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම ළමා හා කාන්තා කාර්යාංශයට ඊයේ (10) නියෝග කළාය.
අදාළ බාලවයස්කාර දරුවා ඉගෙන ගත් පාසලේ තොරතුරු තාක්ෂණ ගුරුවරියක වූ මෙම තැනැත්තිය වසර හතරක් තිස්සේ පාසල තුළ දී මෙන්ම විවිධ ස්ථානවලදීත් ගල්කිස්ස මහ හෝටලයේදීත් දරුවා අපයෝජනයට ලක්කර ඇතැයි ළමා හා කාත්නා කාර්යාංශය අධිකරණයට කරුණු වාර්තා කර තිබිණී.
එම පාසැලේ ‘අන්තර් පාසල් මහා ක්‍රිකට් තරගය අතර මෙම ගුරුවරිය අදාළ දරුවා හඳුනාගෙන ඇති බවත්, පසුව අතපසු වූ අධ්‍යාපන කටයුතු සිදුකිරීම සඳහා ඕනෑම මොහොතක අමතන ලෙසට දැනුම් දෙමින් ඇගේ ජංගම දුරකතන අංකය දරුවාට ලබා දී ඇති බවත් ළමා හා කාන්තා කාර්යාංශය අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇත.
පසුව වසර හතරක් පුරා දරුවාගේ ජංගම දුරකතනයට whatsapp පණීවිඩ එවමින් ඔහු සමග සම්බන්ධතාව පවත්වා ගෙන ගොස් ඇති අතර, දරුවා වසර 18ක් සපිරෙන තෙක් නොයෙක් ස්ථානවලට රැගෙන ගොස් ඇති බවට කරුණු ඉදිරිපත් වී ඇතැයි ද ළමා හා කාන්තා කාර්යාංශය අධිකරණයට කරුණු වාර්තා කර තිබේ’.
ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය සිද්ධියට අදාළ සැකකාර ගුරුවරිය සම්බන්ධයෙන් වහාම පරීක්ෂණ පවත්වා අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසට ළමා හා කාන්තා කාර්යාංශයට නියෝග කළේය.