කොළඹ පැරණි ගොඩනැගිලි පෞරාණිකත්වය රැකෙන පරිදි පිළිසකර කරන්න! – ජනපති අගමැති උපදෙස්…

October 1, 2020 at 7:31 am | by emanisa.lk

කොළඹ නගරයේ පැරණි ගොඩනැගිලි පෞරාණිකත්වය ආරක්ෂා වන අයුරින් පිළිසකර කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂ නාගරික සංවර්ධන අධිකාරියේ බලධාරීන්ට උපදෙස් දී තිබේ.

එම උපදෙස්වලට අනුව කොළඹ නගරයේ පැරණි ගොඩනැගිලි ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු මේ වන විට සිදු කරමින් පවතින අතර

පුරාවිද්‍යා ආඥා පනත යටතේ ගැසට් පත්‍රියක් මඟින් ප්‍රසිද්ධියට පත් කර ඇති වසර 105ක් පැරණි ගෆූර් ගොඩනැගිල්ලේ ප්‍රතිසංස්කරණය කරනු ලබන්නේ ද ඊට අදළවය. එම ගොඩනැගිල්ලේ ප්‍රතිසංස්කරණ කටයුතු වෙනුනේ රුපියල් මිලියන 620ක් වෙන් කර ඇති අතර නාගරික සංවර්ධන අධිකාරියේ උපදෙස් පරිදි ශ්‍රී ලංකා නාවික හමුදාව, මොරටුව විශ්වවිද්‍යාලය එම ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කරනු ලබයි.

මහල් 5 කින් සමන්විත වර්ග අඩි 8250 කින් යුත් එම ගොඩනැගිල්ල කුට්ටි හැඩයෙන් යුක්ත අතර මෙම සුවිසල් පෞරාණික ගොඩනැගිල්ල කොළඹ වටිනාකම වැඩිකළ නිර්මාණයක් වශයෙන් ද හැඳින්වේ.

මෙහි ඇති පෞරාණික බව නිසාවෙන්ම එය 2000 වසරේ ඔක්තෝම්බර් 04 වැනිදා පුරාවිද්‍යා ස්ථානයක් ලෙස පුරාවිද්‍යා ආඥාා පනත යටතේ ගැසට් පත්‍රයක් මඟින් ප්‍රසිද්ධියට ද පත්කර තිබෙන අතර මෙහි පෞරාණික වටිනාකම අධ්‍යයනය කිරීමෙන් අනතුරුව පෞරාණික උරුමයන් ද ආරක්ෂා වන ආකාරයෙන් වර්තමාන රජය ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කර ඇත.

වසර 100කට වඩා පැරණි කොළඹ නගරයේ පෞරාණික ගොඩනැගිලි කඩා වැටීමට පෙර නිසි පරිදි අලුත්වැඩියා කිරීමේ වැඩසටහනක් 2015 වසරට පෙර එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සහ එවකට රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්, වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මෙහෙයවීමෙන් සිදු කෙරුණු නමුත් 2015 සිට වසර 4 1/2 කට ආසන්න කාලය තුළ කොළඹ නගරයේ පැරණි ගොඩනැගිලි අලුත්වැඩියා කිරීමේ කටයුතු කිසිවක් සිදු කෙරුණේ නැත.

මේ නිසා කොළඹ නගරයේ ඇතැම් පැරණි ගොඩනැගිලි විශාල වශයෙන් ගරාවැටී කඩාවැටීමට ආසන්න මට්ටමකට පැමිණි අතර ඇතැම් පැරණි ගොඩනැගිලිවල ඇතුළත බදාම තට්ටු කඩාවැටී තිබුණු අවස්ථා පිළිබඳව ද නාගරික සංවර්ධන අධිකාරියට වාර්තා වී තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස