කොවිඩ් වසංගතය ලංකාව ආර්ථික අර්බුදයකට ඇද දැම්මා…! ලොක්ඩවුන් සහ සංචාරක ක්ෂේත්‍රයේ බිඳ වැටීම අර්බුදය උග්‍ර කළා..! – IMF

March 26, 2022 at 3:01 pm | by emanisa.lk

කෝවිඩ් වසංගතය ලංකාවේ ආර්ථිකයට දැඩි ලෙස බලපෑම් එල්ල කර ඇති අතර සංචාරක ලැබීම අහිමි වීම සහ දැඩි අගුළු දැමීම් කිහිපයක් ක්‍රියාත්මක වීම හේතුවෙන් එය වඩාත් සංකීරණ තත්ත්වයට පත්ව ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.

ශ්‍රී ලංකාව පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්තාව ප්‍රකාශයට පත් කරමින් මේ බව සඳහන් කර තිබේ.

කෝවිඩ් වසංගතය හේතුවෙන් අද වන විට ශ්‍රී ලංකාවේ දළ ජාතික නිෂ්පාදනයෙන් සියයට 10.5 විශාල මූල්‍ය හිගයකට ඇද වැටී ඇති අතර එය 2020 වසරේ දී සියයට 4.6 ක් බවද වාර්තාවේ සඳහන් කර තිබේ. පසුගිය වසරේ ශ‍්‍රී ලංකාවේ රාජ්‍ය ණය ප්‍රමාණය දළ ජාතික නිෂ්පාදනයෙන් සියයට 119 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ද එය 2019 වසරේ සියයට 93.6 ක් ද 2020 වසරේ සියයට 110 ක් බව ද වාර්තාව කියා සිටී.

ජාත්‍යන්තර ප්‍රාග්ධන වෙළඳපොළ වෙත ශ්‍රී ලංකාවට ඇති ප්‍රවේශය 2020 දී අහිමි වූ අතර, විදෙස් සංචිත තීරණාත්මක ලෙස බරපතළ ආකාරයෙන් පහත වැටීමත් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රජයට මහා පරිමාණ සෘජු ණය ලබා දීමත් ණය ප්‍රමාණය ඉහළ යාමට හේතු වී ඇති බව වාර්තාව පෙන්වා දෙයි

2018 වසරේ ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 6919 තිබූ ශ්‍රී ලංකා විදෙස් සංචිතය 2022 වසරේ දී ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 2204 දක්වා පහත වැටී ඇතැයි දත්ත විශ්ලේෂණය කර අනාවැකි පළකර ඇත. විදේශ ණය ආපසු ගෙවීම සහ ජංගම ගිණුම් හිඟය පුළුල් වීම විදේශ විනිමය හිඟයට හේතු වී ඇති බව වාර්තාවේ සඳහන් වේ. ආනයනික උද්ධමනය, සැපයුම් නිෂ්පාදනය සහ ලිහිල් මූල්‍ය ප්‍රතිපත්තිය මධ්‍යයේ දේශීය ඉල්ලුම ඉහළ යාම හේතුවෙන්, උද්ධමනය 2021 දෙසැම්බර් මාසයේදී 10.5 ළඟා වෙමින් ඉහළ යමින් පවතින බව මෙම වාර්තාවෙන් පෙන්වා දී තිබේ.

ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරභාවය ඇති කිරීම සඳහා විශ්වසනීය පැහැදිලි ක්‍රමෝපායන් කඩිනමින් ක්‍රියාවට නැංවිය යුතු බවත්, වෙළඳපළ නැවත තිබූ තත්ත්වයට පත් කිරීම සඳහා ක්‍රමානුකූලව තීරණය කරන ලද සහ නම්‍යශීලී විනිමය අනුපාතයක් අවශ්‍ය බවත් සමාජ ආරක්ෂණය සහතික කළයුතු බවත් වැට් බදු සේම අනිකුත් අදායම් බදු වැඩි කිරීම සඳහා අවධානය යොමු කළ යුතු බවත් වාර්තාව මගින් නිර්දේශ කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස