කොවිඩ් මාරයාගෙන් ගැළවෙන්න ආචාර්ය චන්දිම ජීවන්දර හෙළි කළ රහස් ක්‍රම හය මෙන්න…!

May 15, 2021 at 12:07 pm | by emanisa.lk

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද හා සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර කොවිඩ් රෝගය පාලනය කර ගැනිම සඳහා අනුගමනය කළ හැකි වඩාත් ප්‍රතිඵලදායි ක්‍රම හයක් ජනතාවට හඳුන්වා දෙයි.

කොරෝනා මර්දන එන්නතක් ලැබෙනවා නම් එය ලැබෙන මුල් අවස්ථාවේ දී ම ලබා ගැනීම, මුව ආවරණ නිවැරදිව පැළඳීම, පුද්ගලයන් අතර අඩි හයක පරතරයක් තබා ගැනීම, අත් නිවැරදිව සබන් යොදා සේදීම සහ දැන් විෂබීජ නාශක දියරවලින් සේදීම, සෙනග විශාල වශයෙන් රැස්වන ස්ථානවලට නොයෑම සහ අත්‍යාවශ්‍යම කාරණයකට එසේ යෑමට සිදු වුවහොත් මිනිත්තු 15කට පෙර එම ස්ථානවලින් පිටවීමට වග බලා ගැනීම, තමන්ට යම් කිසි සැක සහිත රෝග ලක්ෂණ තිබේ නම් හැකි ඉක්මනින් ම පී.සී.ආර්. පරීක්ෂණයකට යොමුවීම හා පවුලේ සාමාජිකයන්ගෙන් ඈත්ව කටයුතු කිරීම එම ක්‍රම හය බව හෙතෙම පෙන්වා දෙයි.

දැනට මෙරට තිබෙන සියලු ම එන්නත් ඉතා ම හොඳ බවත් රෝගය පාලනය කර ගැනීමට ඇති ප්‍රධාන ම මෙවලම එන්නත බවත් ඔහු ප්‍රකාශ කළේය.

එන්නත් සම්බන්ධයෙන් විවිධ කරුණු විමසා ජනතාවගෙන් තම අධ්‍යයන අංශයට දුරකථන ඇමතුම් හාරසියයක් පමණ දිනකට ලැබෙන බව කී ආචාර්ය ජීවන්දර ලැබෙන කුමන හෝ එන්නතක් වුව හැකි ඉක්මනින්ම ලබා ගැනීම ඉතා සුදුසු ම ක්‍රියාමාර්ගය බව ඒ හැම කෙනෙකුටම ලබාදෙන උපදෙස යයි පැවසුවේය.

ඉදිරි මාසය ඉතා ම තීරණාත්මක බවටත් අත්‍යවශ්‍යම කරුණකට හැරෙන්නට වෙනත් කිසිම කාරණයකට නිවෙස්වලින් පිටවීම නොකළ යුතු බවටත් ඔහු ජනතාව දැනුම් දෙයි.

“එක එක එන්නත් ගැන විමසමින් ඒවා එනකම් ඉන්න එපා. ලැබිලා තියෙන එන්නත ඉක්මනට ගහගන්න. එහෙම නොකළොත් ඔබගේ ජීවිතය නැති වෙන්න වුණත් පුළුවන්” ආචාර්ය ජීවන්දර අවධාරණය කරයි.

උණ, කැස්ස, උගුරේ වේදනාව, ඇඟපත වේදනාව සහ ගඳ සුවඳ නොදැනීම කොරෝනා රෝගයේ ප්‍රධාන ලක්ෂණ බවත් මෙවැනි සැකසහිත ලක්ෂණ තිබේ නම් වහා ම සෞඛ්‍ය අංශ දැනුම්වත් කළ යුතු බවත් ආචාර්යවරයා ජනතාවට වැඩිදුරටත් දැනුම් දෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස