කොන්දක් තිබේ නම් ඉල්ලා අස් වී ඡන්දයක් පවත්වනු…! – කාදිනල්තුමා…

March 13, 2023 at 6:18 pm | by emanisa.lk

පිටකොන්දක් තිබේ නම් මන්ත්‍රී ධූරවලින් ඉවත්වී ඡන්දයක් පවත්වා ජනතාවගේ කැමැත්තෙන් නැවත පත්වීමට උත්සාහ කරන්නැයි වත්මන් පාලකයන්ට දැනුම් දෙන බව අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් පියතුමා පවසයි.

ජනතාව ඔවුන්ට කැමති යැයි කිව නොහැකි බවත්, වර්තමානයේ ඇත්තේ ජනතාව ඡන්දය දුන් ප්‍රතිපත්ති ප්‍රකාශය නොව වෙනත් එකක් නිසා ඔවුන් අලුත් මැතිවරණ ප්‍රකාශයක් සමග නැවත වරක් ඡන්දය ඉල්ලිය යුතු බවත් එවිට රට දිය යුත්තේ කාටදැයි ජනතාවට තීරණය කළ හැකි බව ද කාදිනල්තුමා සඳහන් කළහ.

ඇතැමුන් පිටුපස දොරෙන් පැමිණ ජනතාවගෙන් නොඅසා සියල්ල වෙනස් කරන බව කී කොළඹ අගරදගුරුමා, මෙරට කුමන හෝ සම්පතක් විදේශයකට දෙන්නේ නම් ඒ පිළිබඳ ජනමත විචාරණයක් පැවැත්විය යුතු බවත් අවධාරණය කළහ.

වත්මන් නායකයන් රට ඉතා දුක්බරිත තැනකට ගෙනැවිත් ඇති බවත්, ඔවුන් පාර්ලිමේන්තුවේ හිනාවුණාට ජනතාව සතුටින් සිටින බව කිව කිව නොහැකි යැයි ද කාදිනල්තුමෝ පැවසූහ.

පළාත් පාලන මැතිවරණය සඳහා පසුගිය අයවැයෙන් වෙන්කළ මුදල් ලබාදෙන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කර ඇති නියෝගය තමන්ගේ වරප්‍රසාද කඩකිරීමක් ලෙස හුවා දක්වමින් උසාවියට කරුණු ඉදිරිපත් කරන ලෙස කර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනකු කතානායකවරයාගෙන් ඇති ඉල්ලීම සම්බන්ධයෙන් තම බලවත් විරෝධය පළ කරන බව ද කාදිනල්තුමා පැවසීය.

කිසිවෙකුට ශ්‍රේෂ්ඨාධිකරණයට ඇඟිලි ගැසීමට ඉඩක් නොමැති බවත්, ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව ක්‍රියාත්මක කිරීමට පාර්ලිමේන්තුව, රජය මෙන්ම ජනාධිපතිතුමා ද බැඳී සිටින බවත් කොළඹ අගරදගුරුතුමා සඳහන් කළේය.

මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමා මේ බව පැවසුවේ, බොරැල්ල, අගරදගුරුමැදුරේ දී අද (13) පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *