කොටි තිලීපන් සැමරුම් තහනම් කළැයි උතුරේ හර්තාල්!ජන ජීවිතය අඩාලයි!

September 28, 2020 at 1:15 pm | by emanisa.lk

උතුරේ දෙමළ ජනතාවගේ අයිතීන් උල්ලංඝනය කරමින් වත්මන් රජය කටයුතු කිරීමට විරෝධය පාමින් අද (28) උදෑසන සිට උතුරු පළාතේ හර්තාලයක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇත.

ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂය ඇතුලු දෙමළ පක්ෂ කිහිපයක් විසින් අද දිනයේ දී ක්‍රියාත්මක කරනු ලබන හර්තාලයට සහය ලබා දෙන ලෙස කරන ලද ඉල්ලීමකට අනුව උතුරේ වෙළඳ සංගම්, පෞද්ගලික බස් සංගම් ඊට එකතු වීමත් සමග වෙළඳසැල් වසා දමා බස් ගමනාගමනය නවතා දමා ඇත.

ඉන්දීය හමුදාව ලංකාවෙන් පිට කරන ලෙස ඉල්ලමින් උපවාස කර මිය ගිය තිලීපන් නම් කොටි නායකයාගේ ගුණ සැමරුම සැමරීමට නොදී අධිකරණ තහනම් නියෝගයක් ගැනීමත් සමග උතුරේ ස්ථාන කිහිපයකින් දේශපාලන නියෝජිතයින් හා සිවිල් සංවිධානයන්හි විරෝධතා සංවිධානය කොට තිබුණි.

මිය ගිය වැසියන් සිහිකිරීමට ඔනෑම අයෙකුට අයිතියක් ඇති බවත් වත්මන් බලධාරීන් විසින් දෙමළ ජනතාවගේ අයිතීන් උල්ලංගනය කරමින් දෙමළ ජනතාව පීඩාවට පත් කිරීමේ උත්සහයක නිරත වන බවත් පවසමින් මෙම හර්තාලය ක්‍රියාත්මක කොට තිබුණි.

යාපනය දිස්ත්‍රීක්කයේ ආපනශාලා සහ ඖෂධහල් පමණක් විවෘත්තව තිබෙන අතර අනෙක් සියලුම වෙළඳසැල් වසාදමා ඇත. ලංගම බස් පමණක් ධාවනය කෙරෙන අතර සියලුම පෞද්ගලික බස් ධාවනයෙන් ඉවත් කර හර්තාලයට සහය දෙමින් ඇත.

මේ නිසා උතුරේ සාමාන්‍ය ජනතාව පීඩාවට පත්ව ඇතැයි වාර්තා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස