කෘත්‍රිම බුද්ධිය යොදා ගෙන බුදු දහම සුරක්ෂිත කරන්න කැපවෙනවා…! – ජනාධිපති…

July 21, 2023 at 9:11 am | by emanisa.lk

ථේරවාදී බුදුදහම සුරක්ෂිත කර ජාත්‍යන්තරයේ ව්‍යාප්ත කිරීමේ වගකීම ඉටු කිරීමට කැපවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කරයි

ඒ වෙනුවෙන් කෘත්‍රිම බුද්ධිය භාවිතයට ගැනීමේ වැඩපිළිවෙළක් ද ක්‍රියාවට නංවන බවත්, ත්‍රෛනිකායික මහා සංඝරත්නයේ අවවාද අනුශාසනා ලබා ගනිමින් උගත්, වියත් පිරිසකගේ දායකත්වයෙන් එම කටයුතු ක්‍රියාවට නැංවීමට අපේක්ෂා කරන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කළේ ඊයේ (20) පෙරවරුවේ මාතලේ එඩ්වඩ් ක්‍රීඩාංගනයේ පැවති සාමණේර භික්ෂුන් වහන්සේලා 300 නමක් උපසම්පදා ශීලයේ පිහිටුවන මහා විහාරවංශික ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 73 වැනි ජාතික උපසම්පදා විනය කර්ම සමාරම්භක රාජ්‍ය මහෝත්සවයට එක් වෙමිනි.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 73 වැනි ජාතික උපසම්පදා විනය කර්මය ඊයේ (20) සිට ජූලි 27 වැනි දා දක්වා මාතලේ බණ්ඩරපොල සුදුගඟ උදකුක්ඛේප සීමාමාලකයේ දී පැවැත් වේ.

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේද පැවසීය.

රාමඤ්ඤ මහා නිකායේ 73 වැනි උපසම්පදා මහෝත්සවයට සහභාගීවීමට ලැබීම පිළිබඳව මම සතුටු වෙනවා. ඉන්දීය සංචාරය හමුවේ වුවත් මට මෙම අවස්ථාව සඳහා සහභාගීවීමට ලැබෙන පරිදි උත්සව කටයුතු සංශෝධනය කිරීම පිළිබඳව ස්වාමීන් වහන්සේලාට මෙන්ම දායක සභාවට ද මම ස්තූතිවන්ත වෙනවා.

මම මෙවර ඉන්දියානු නිල සංචාරය සිදු කරන්නේ දෙරට අතර ඉදිරි සබඳතා පිළිබඳ සාකච්ඡා කිරීමටයි. ඒ වගේම මෙරට ආර්ථිකය කඩා වැටුණු අවස්ථාවේ ඉන්දීය රජය අපට ලබාදුන් සහාය පිළිබඳ ස්තූති කිරීමට මම මෙය අවස්ථාවක් කර ගන්නවා.

රාමඤ්ඤ මහා නිකාය මෙම උපසම්පදා මහෝත්සවය මාතලේ ප්‍රදේශයේ පැවැත්වීම බෞද්ධ ජනතාවට ඉතා සුවිශේෂ වනවා. ඒ වගේම මාතලේ පුරවරයට බෞද්ධ ඉතිහාසය තුළ වැදගත් ස්ථානයක් හිමිවෙනවා. ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කර ත්‍රිපිටකය ආරක්ෂා කිරීමට තැබූ පළමු පියවර තැබුවේ මාතලේ අළුවිහාරයේදීයි. ත්‍රිපිටකය ආරක්ෂා කිරීමට රජයක් ලෙස මේ වන විට අප කටයුතු කර තිබෙනවා. ත්‍රිපිටකය සුරකිනවා යනු උතුම් සද්ධර්මය සුරැකීමයි. බෞද්ධ රටක් ලෙස ත්‍රිපිටකය ආරක්ෂා කරගෙන ලෝකයට බුදු දහම රැගෙන යෑමට අප කටයුතු කර තිබෙනවා.

කෘතිම බුද්ධියට බුදු දහම පිළිබඳ සියලු දත්ත ඇතුළත් කිරීමෙන්, ඒ පිළිබඳ අසන ඕනෑම ප්‍රශ්නයකට පිළිතුරු ලබාදීමට හැකියාව තිබෙනවා. ගැමුණු රජතුමා පිළිබඳව තිබෙන සියලුම තොරතුරු කෘත්‍රිම බුද්ධියට ලබා දුන්නොත් ඊට අදාළව අසන ඕනෑම ප්‍රශ්නයකට පිළිතුරු සැපයීමට කෘතිම බුද්ධියට හැකියාව තිබෙනවා. වික්ටෝරියා රැජන පිළිබඳව තොරතුරු ඇතුළත් කළත් එලෙසම පිළිතුරු සැපයීමට කෘත්‍රිම බුද්ධියට හැකියාව තිබෙනවා. තොරතුරු ලබා දෙනවා පමණක් නොව එය ප්‍රකාශ කිරීමේ හැකියාව GPT තාක්ෂණයෙන් ලැබී තිබෙනවා. මෙම නවීන තාක්ෂණය උපයෝගි කරගනිමින් බුදුදහම තව දුරටත් සුරක්ෂිත කිරීමට කටයුතු කළ හැකියි.

බුදු දහමේ පමණක් නොවෙයි අනෙකුත් ආගම්වලත් මෙම විකෘති කිරීම් දකින්න ලැබෙනවා. බයිබල් GPT කියලා තවත් වැඩසටහනක් තිබෙනවා. එහි සඳහන් වන්නේ “ක්‍රිස්තියානි ආගම ජේසුස්වහන්සේගේ මුවින්” යනුවෙනි. නමුත් එය එසේ විය නොහැකියි. මෙවැනි ආගමික විකෘති කිරීම් සමාජ මාධ්‍ය ඔස්සේ පළවන නිසා අපට නීතියෙන් එය පාලනය කිරීමට ද හැකියාවක් නැහැ. ඒ නිසා මේවා පිළිබඳව අපේ අවධානය යොමු විය යුතුයි.

රාජ්‍ය අමාත්‍යවරුන් වන රෝහණ දිසානායක, ලසන්ත අලගියවන්න, හිටපු කථානායක කරු ජයසූරිය, ත්‍රිවිධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා අතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස