කුරුඳු දුම්වැටි ඔස්සේ තරුණයින් නැවත සිගරට්වලට යොමු වෙනවා…! විමල්ට එරෙහිව පියවර ගන්න…! – සමස්ත ලංකා වෛද්‍ය සංගමය..

March 20, 2021 at 7:42 am | by emanisa.lk

පදනම් විරහිතව ජනතාව දුම්වැටිවලට හුරුකරවන ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රචාරය හෙලා දකින බව සමස්ත ලංකා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ ප්‍රධාන ලේකම්, වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා ඊයේ (19) නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ මේ පිළිබඳව කරුණු හතරයක් යටතේ වැඩිදුරටත් පවසන්නේ මෙවන් අසත්‍ය පදනම් විරහිත ප්‍රචාරණයන් වැළැක්වීමට පියවර ගන්නා ලෙසත්, එකී අමාත්‍යවරයාගේ ක්‍රියාකලාපයට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසත් ය.

එම සම්පූර්ණ මාධ්‍ය නිවේදනය මෙසේය.

“2021/03/17 දින කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා සහභාගී වු මාධ්‍ය හමුවකදී ලංකාවේ නිෂ්පාදිත ආයුර්වේද නිෂ්පාදනයක් ලෙස හුවා දක්වමින් විදේශීය නිකොටින් සහිත සිගරට්වලට ආදේශකයක් ලෙස භාවිත කළ හැකි යැයි පවසමින් “කුරුඳු දුම්වැටි” හඳුන්වාදී එය මුවෙහි රඳවාගෙන මාධ්‍ය වෙත පෙනී සිටින ලදී. ඔවුන්ගේ ඉලක්කය මෙම නිෂ්පාදන කර්මාන්තශාලා සියයක් පමණ රට පුරා ඇරඹීමයි.

1) දැනට ලංකාවේ නීතියට අනුව දුම් වැටි හා මධ්‍යසාර ප්‍රවර්ධනය කිරීමට කිසිදු පුද්ගලයෙකුට හෝ ආයතනයකට බලයක් නැත. මෙය දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය මගින් ප්‍රකාශිත දුම්කොළ මධ්‍යසාර පනත් උල්ලංඝනය කිරීමකි. මීට අමතරව දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය විසින් චීන දුම්වැටි ආනයනය සදහා බලපත්‍ර ලබා දීමට උත්සාහ කල අවස්ථාවේදී නිකුත් කළ නිවේදනය මගින්ද ලංකාවේ ජනතාව දුම්වැටි හා දුම්කොළ නිශ්පාදනයන්ට හුරුකරවීම බරපතල ගැටළුවක් සේ පෙන්වා දී තිබේ.

2) අද දවසේ තරුණ පරපුරේ දුම්වැටි භාවිතාව සාපේක්ෂව අඩුවීමේ ප්‍රවණතාවයක් ඇති බැවින් මෙමගින් පාසල් දරුවන් තුල නව සිගරට්ටු අත් හදා බැලීමත් ඉන්පසු ඊළඟ පියවර ලෙස නිකොටින් සහිත දුම්වැටි කරා යාමත් සඳහා රාජ්‍ය අනුග්‍රහය සහිත උත්තේජනයකි. රටේ වගකිව යුතු ඇමතිවරයෙකු මෙය මාධ්‍ය හරහා ප්‍රවර්ධනය කිරීමෙන් දරුවන් පළමුව එයටත් ඉන්පසු විදේශීය සිගරට්වලටත් හසුවනු ඇත.

3) දියුණු මානව සම්පතක් නිර්මාණය කර ගැනීමේදී අත්‍යාවශය වන්නේ දුම්වැටි භාවිතය අවම කිරීම මිස එය වක්‍රව හෝ ප්‍රවර්ධනය කිරීම නොවේ.

4) රටේ සමස්ත සෞඛ්‍ය වියදමෙන් විශාල මුදලක් ශ්වසන සහ හෘද රෝගවලට වෙන් වන අතර ඉන් බොහෝමයක් සක්‍රීය මෙන්ම අක්‍රීය දුම් පානය නිසා වී ඇත. එසේ රෝගී වන්නන් වෙනුවෙන් සෞඛ්‍ය සේවා සැපයීම සඳහා රජයට අති විශාල මුදලක් වැය කිරීමට සිදුව තිබේ. කොරෝනා වසංගතය ව්‍යාප්තිය වළක්වා ගැනීම සඳහාද දුම්වැටි භාවිතය අවම කිරීම අත්‍යාවශ්‍යව තිබේ.

එබැවින් මෙම පදනම් විරහිත දුම්වැටි ප්‍රචාරණය සඳහා ආණ්ඩුවේ මැදිහත්වීම හෙලා දකින අප සංගමය මේ සඳහා ආණ්ඩුවේ විශේෂ අවධානය යොමුකල යුතු බව අවධාරණය කරමු. ඉදිරියේදී මෙවන් අසත්‍ය පදනම් විරහිත ප්‍රචාරණයන් වැළැක්වීමට පියවර ගන්නා ලෙසත් ,එකී අමාත්‍යවරයාට එරෙහිව නීතිමය පියවර ගැනීම ජනතාව මුලාවට පත්වීම වැළැක්වීම සදහා අත්‍යාවශ්‍ය බවත් සිහිපත් කරමු.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *