කිරි ලීටරයට රු. 100ක ඉහළ මිලක්…! අතරමැදි අක්‍රමිකතා වහා මඩින්න..! දියර කිරි ප්‍රචලිත කරන්න…! – ජනපති..

February 26, 2022 at 9:02 am | by emanisa.lk

දියර කිරි ලීටරයක් සඳහා රුපියල් 100ක ඉහළ මිලක් කිරි ගොවියාට දෙන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, පශු සම්පත්, ගොවිපොළ ප්‍රවර්ධන හා කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය ඇමැති ඩී.බී. හේරත්ට ඊයේ (25) උපදෙස් දුන්නේය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නාරාහේන්පිට මිල්කෝ කර්මාන්ත ශාලාව ඊයේ (25) පෙරවරුවේ නීරීක්ෂණය කළ අවස්ථාවේදී මෙසේ උපදෙස් දුන් අතර, දියර කිරි මිලදී ගැනීමේ දී පවතින විෂමතාව ඉවත් කිරීමට වහාම පියවර ගන්නැයි ද කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ සහ රාජ්‍ය ඇමැති ඩී.බී. හේරත්ට දැනුම් දුන්නේ ය.

කිරි ගොවියා නඟා සිටුවීම සහ දියර කිරි පරිභෝජනය ප්‍රචලිත කිරීමේ අරමුණින් ජනාධිපතිවරයා විසින් මේ තීරණය ගෙන තිබේ. දියර කිරි මිල දී ගැනීමේ දී දිස්ත්‍රික් මට්ටමින් පවතින මිල ගණන්වල විෂමතාව ජනාධිපතිවරයාගේ විශේෂ අවධානයට ලක් කෙරුණු අතර, කිරි ගොවියාගෙන් කිරි මිල දී ගෙන ආයතනය දක්වා රැගෙන ඒමේ දී අතරමැදියන්ගෙන් වන අක්‍රමිකතා මඟහැරීමට සමස්ත ක්‍රියාවලිය පූර්ණ අධීක්ෂණයට ලක් කළ යුතු බවත් නියම මිල කිරි ගොවියා අතට ලැබීමට සැලැස්විය යුතු බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය.

කිරි ගොවියා නඟා සිටුවීම සහ දියර කිරි පරිභෝජනය ප්‍රචලිත කිරීමේ අරමුණින් ජනාධිපතිවරයා විසින් මේ තීරණයන්ට එළැඹිණ. මෙහිදී පාරිභෝගිකයාට බරක් හා පවතින මිල ගණන්වල වෙනසක් නොවිය යුතු බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

කර්මාන්තශාලා පරිශ්‍රයට පැමිණි ජනාධිපතිවරයා දියර කිරි එක්රැස් කිරීමේ සිට කිරි හා කිරි ආශ්‍රිත නිෂ්පාදන සිදු කිරීමේ ක්‍රියාවලිය පූර්ණ නිරීක්ෂණයට ලක් කළේය.

ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය (NLDB) යටතේ ඇති භාවිතයට නොගත් ඉඩම්වල තෘණ වගා කිරීමටත් දිගන, අඹේවෙල, පොළොන්නරුව හා බඩල්ගම යන කර්මාන්තශාලාවල ප්‍රධාන මධ්‍යස්ථානය සේ නාරාහේන්පිට පිහිටි මිල්කෝ කර්මාන්තශාලාව සංවර්ධනයට පියවර ගන්නා ලෙසත් ජනාධිපතිවරයා උපදෙස් දෙනු ලැබීය.

පිටි කිරි කිලෝග්‍රෑම් එකක් නිෂ්පාදනය සඳහා යොදා ගැනෙන දියර කිරි ලීටර් ප්‍රමාණය 8.5කි. ඉන් සෑදිය හැක්කේ කිරි කෝප්ප 45ක් පමණි. එහෙත් දියර කිරි ලීටර් 2.5කින් එම අවශ්‍යතාව සපුරාගත හැකි බව නිලධාරීහු කියා සිටියහ. මේ තත්ත්වය අවබෝධ කර ගනිමින් දියර කිරි පරිභෝජනයට ජනතාව දිරිගැන්වීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා පෙන්වා දෙනු ලැබිණි.

ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ, රාජ්‍ය ඇමැති ඩී.බී. හේරත්, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් වරුණ සමරදිවාකර, මිල්කෝ ආයතනයේ සභාපති රේණුක පෙරේරා සහ සාමාන්‍යාධිකාරි සුදත් මුණසිංහ ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස