ඖෂධ මාෆියාව එළිපිට මිනීමරයි..! ගිය අවුරුද්දේ කෝටි 11ක බාල ඖෂධ රෝගීන්ට පොවලා…! ඖෂවල වීදුරු කැබලි, ක්ෂුද්‍රජීවීන් සහ අපද්‍රව්‍යය…! දරුණු පිළිකා රෝගීන්ටත් බාල ඖෂධ…!

November 7, 2021 at 8:45 am | by emanisa.lk

රුපියල් එකොළොස් කෝටි තිස් හය ලක්ෂයකට අධික වටිනාකමින් යුත් තත්ත්වයෙන් බාල ඖෂධ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයීම් අංශයෙන් පසුගිය වසරේ දී රෝහල්වලට නිකුත් කර තිබේ.

වීදුරු කැබලි, වෙනත් කුඩා කැබලි පැවතීම, පෙති කැඩී යාම, වර්ණය වෙනස් වීම පමණක් නොව ක්ෂුද්‍රජීවීන් යන හේතු මත මෙම ඖෂධ භාවිතයෙන් ඉවත් කිරීමට එම රෝහල් කටයුතු කර තිබූ බව විගණකාධිපතිවරයාගේ වාර්ෂික වාර්තාවෙන් අනාවරණය කර ඇත.

මෙම ඖෂධ අතර ආසාත්මිකතා, ඇදුම හා පිළිකා සඳහා භාවිත කරන ඖෂධ මෙන් ම ප්‍රතිජීවක ඖෂධ ද තිබී ඇත.

අදාළ වසරේ දී තත්ත්වයෙන් බාල ඖෂධ ඒකක හයලක්ෂ නවදහස් පන්සිය හැට එකක් පොළොන්නරුව රෝහල වෙත ලැබී තිබූ බවත් ඉන් ඒකක පන්ලක්ෂ විසිනව දහසක් හෙවත් සියයට අසූ හයක් රෝගීන්ට නිකුත් කර තිබූ බවත් එම වාර්තාව තව දුරටත් අනාවරණය කර තිබේ‍.

එසේ නිකුත් කළ ඖෂධ භාවිත කළ රෝගීන් සම්බන්ධයෙන් කිසිදු පරීක්ෂාවක් හෝ විමසීමක් කර නොතිබූ බවත් විගණකාධිපතිවරයා සඳහන් කරයි.

තත්ත්වයෙන් බාල ඖෂධ පිළිබඳ දැනුම් දීමේ චක්‍රලේඛ නිකුත් කිරීම ප්‍රමාද වන හෙයින් ඒ පිළිබඳ දැනුම් දීම සඳහා පසුගිය වසරේ සිට පරිගණක පද්ධතිය උපයෝගී කර ගන්නා බව වෛද්‍ය සැපයීම් අංශය විගණනය වෙත දැනුම් දුන් නමුත් 1521ක් වන සමස්ත රෝහල් සංඛ්‍යාවෙන් 1381ක ම පරිගණක පද්ධතිය ක්‍රියාත්මක නොවන බව ද එම වාර්තාව අනාවරණය කරයි.

පසුගිය වසර නවයක කාලයේ දී තත්ත්වයෙන් බාල ඖෂධ වෙනුවෙන් දරා ඇති වියදම රුපියල් විසිතුන් කෝටි හැට හතර ලක්ෂය ඉක්මවන බවත් එම මුදල් සැපයුම්කරුවන්ගෙන් අයකර ගැනීමට පියවර ගෙන නොතිබූ බවත් විගණකාධිපතිවරයා සඳහන් කරයි.

ඒ අතරින් රුපියල් විසිඑක් කෝටියකට අධික වටිනාකමින් යුත් ඖෂධ මිල දී ගෙන ඇත්තේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ය. දේශීය නිෂ්පාදකයන්ගෙන් මිලට ගෙන ඇති ඖෂධවල වටිනාකම රුපියල් එක්කෝටි නව ලක්ෂයකට අධික ය.

මේ සම්බන්ධ‍ෙයන් ඖෂධ නිෂ්පාදන, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමනගෙන් කළ විමසුමකදී ඔහු සඳහන් කළේ 2020 වර්ෂයේ රෝහල්වලට බෙදා හැර අත්තේ 2018 හා 2019 වර්ෂවල දී මිල දී ගත් ඖෂධ බවයි. තමන් මෙම අමාත්‍යංශයට පත් වීමෙන් පසු ඖෂධවල ගුණාත්මක බව හා තත්ත්වය සම්බන්ධයෙන් දිගින් දිගටම පරීක්ෂා කළ අතර ඖෂධ සියයක් පරික්ෂා කිරීමේදී 22ක් බාල ඒවා බව හෙළිවීමෙන් පසු මේ වන විට සැපයුම්කරුවන් තත්ත්වයෙන් උසස් ඖෂධ ලබා දීමට පෙළඹී ඇති බව ද රාජ්‍ය ඇමැතිවරයා සඳහන් කළේය

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *