රසායිනක පොහොර තහනමේ ප්‍රතිඵල ලැබෙයි…! ඕගනික් සිලෝන් ටී සඳහා ඉහළ ඉල්ලුමක්….! මාස හතරට රු. කෝටි 8, 100ක අපනයන ආදායමක්…!

September 10, 2021 at 7:40 am | by emanisa.lk

කාබනික පොහොර භාවිතය ප්‍රචලිත කිරීම හා ඊට අන්තර්ජාතිකව ලැබුණු පිළිගැනීම නිසා මේ වසරේ මුල් මාස හතරේ දී තේ අපනයන ආදායම රුපියල් කෝටි 8,100 දක්වා ඉහළ ගොස් තිබේ.

තේ අපනයනයෙන් මේ වසරේ මුල් මාස හතරේ ලැබූ විදේශ ආදායම 2019 මුල් මාස හතරේ ලද ආදායම හා සැසදීමේදී එම ආදායමේ ඉහළ යෑම රුපියල් කෝටි 1700ක් බව මුදල් රාජ්‍ය ඇමැති අජිත් නිවාඩ් කබ්රාල් පවසයි.

රසායනික පොහොර වෙනුවට කාබනික පොහොරවලින් කරන කෘෂි නිෂ්පාදන සඳහා දේශීය වශයෙන් පමණක් නොව විදේශීය වෙළෙඳපොළේද අති විශාල ඉල්ලුමක් තිබෙන බවත් ගෙවී ගිය මාස කිහිපයේ දී අපනයන තේ කිලෝවක් සඳහා රුපියල් අසූතුනකට වැඩි අමතර මුදලක් හිමි වීමෙන් ඒ බව තහවුරු වන බවත් හෙතෙම පැවසීය.

ඒ අනුව ‘සිලෝන් ටී’ කිලෝවක් සඳහා අමෙරිකන් ඩොලර් 4.82ක ඉහළම මිලක් නියම වී තිබීමෙන් කාබනික පොහොර භාවිතයේ අනාගතය පැහැදිලි වන බව ද රාජ්‍ය ඇමැතිවරයා කීය.

විදේශීය තේ සමඟ අපේ තේ කලවම් නොකිරීමට ආණ්ඩුව ගත් තීරණයත් කාබනික පොහොර භාවිතයත් ඉදිරියට පවත්වාගෙන යන්නේ නම් තේ අපනයනයෙන් ලබන විදේශ විනිමය ප්‍රමාණය කෙටි කලක් තුළ දෙගුණ වනු ඇතැයිද සංඛ්‍යා ලේඛන උපුටා දක්වමින් ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *