එජාප නායකත්වය පොරය තවත් දරුණු වෙයි! නවීන් රුවන් සහ රංගෙත් සටනට!

August 12, 2020 at 10:36 pm | by emanisa.lk

එක්සත් ජාතික පක්ෂයේ නව නායකත්වය කාට හිමිවන්නේ දැයි අද දැනුම්දීමට නියමිතව තිබුණ ද අවසන් තීරණයකට එළඹීමට නොහැකි වූ බව පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් පවසයි.

මෙවර මහ මැතිවරණයෙන් ලද දරුණු පරාජයෙන් පසු එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම සහ පක්ෂයේ නිලධාරී මඩුල්ල පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පෙරේදා සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී රැස්විය.

එහිදී පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කර සිටියේ තමා පක්ෂ නායකත්වයෙන් ඉවත් වන බවයි. අනතුරුව පක්ෂ නායකත්වය සඳහා මහ ලේකම් අකිල විරාජ් කාරියවසම්, උප නායක රවී කරුණානායක, වජිර අබේවර්ධන සහ දයා ගමගේ ඉදිරිපත් විය.

මේ අතර නායකත්වයට යෝජනා වී සිටි සිව්දෙනාට අමතරව නායකත්වය සඳහා එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක නවීන් දිසානායක, නියෝජ්‍ය මහ ලේකම් රුවන් විජේවර්ධන සහ පාලිත රංගෙ බණ්ඩාරගේ නමද යෝජනා වී ඇති බව අකිල විරාජ් කාරියවසම් කියා සිටියි.

ඒ අනුව නායකත්වය සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා වූ සාකච්ඡාව අද පෙරවරුවේ රනිල් වික්‍රමසිංහගේ කොල්ලුපිටියේ පිහිටි නිවසේ දී පැවැත්වූ අතර එහිදී ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නොහැකි වූ බවත් අවසන් තීන්දුව එළඹෙන සිකුරාදා ලබා දෙන බවත් පක්ෂ මහ ලේකම්වරයා සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස